එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන් සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නියොජිතයන් 1401 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබේ.
මීගමුවේ හෝටලයට ඊයේ (14දා) රැස් වූ මෙම හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස හෝ ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට නායකත්වය ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
මේ අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මෑත කාලීනව පළාත් පාලන ආයතන නියොජිතයන් ලෙස කටයුතුකළ නියෝජිතයින් 1437 දෙනා අතරින් අති බහුතරයක පිරිසක් ද සහභාගී වී සිටීමද විශේෂත්වයකි.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි පළාත් පාලන නියෝජිත පිරිස මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහිදී යෝජනා 05 ක් සම්මත කරගනු ලැබිණි.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කිරීම, ශ්‍රී ලංකා නිදහස පක්ෂ ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත් වීම, දේශපාලන දඩයම හෙළාදැකීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේදවීමේ වගකීම පක්ෂ නායකත්වය බාරගැනීම, නව දේශපාලන සන්ධානයක් බිහිකර එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරීම යන යෝජනා මෙහිදී සම්මත කරගනු ලැබිණි.
සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පළාත් පාලන නියෝජිතයන් මෙහිදී අදහස් දැක්වූ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන් සඳහන් කළේ එම දිස්ත්‍රික්කයේ සිටින සන්ධානයේ පළාත් පාලන නියෝජිතයන් 71 න් 45 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින බවයි. එසේම එම දිස්ත්‍රික්කයේ සිටින සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 07 න් 06 දෙනෙකුද එම කණ්ඩායම සමග සිටින බව මෙහිදී ප්‍රකාශ විය.
එම පළාත් පාළන ප්‍රධානීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙරේදා දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේදී සාකච්ඡාවක් පැවැති බවත්, ඒ සඳහා පළාත් පාලන නියෝජිතයන් 35 දෙනෙකු සහභාගි වූ බවත්ය.
මේ අකාරයට සෑම දිස්ත්‍රික්කයකින්ම පැමිණ සිටි නියෝජිතයන් සඳහන් කළේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනම ඉදිරිපත් වියයුතු බවත්, ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය අපේක්ෂා කරන බවත්ය.
පසුව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාවගේ මතයට තමා ගරු කරන බවත්, ජනතාවගේ අපේක්ෂා ඉටුවන පරිදි ඉදිරියටත් කටයුතු කරන බවත්ය.
ඊයේ පැවැති රැස්වීම පෙරවරු 10.00 ට පමණ ආරම්භව සවස 3.00 පමණ වනතුරු පවත්වා තිබේ.
මේ අතර මේ පිළිබඳව පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා %අද^ට පැවසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාලන බලයේ සිටි අවස්ථාවේදී පවා මෙවැනි ආකාරයට පළාත් පාලන නියෝජිතයන් වැඩි පිරිසක් සමග සාකච්ඡාවක් නොපවත්වා ඇති බවත් ඔහු බලයේ නොමැති අවස්ථාවක එවැනි විශාල පිරිසක් පැමිණීමෙන් සන්ධානයේ බිම් මට්ටමේ බලය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා අතම බව තහහවුරු වන බවය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතරව දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වීරකුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 45කට වැඩි පිරිසක්ද, පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටියහ.