හිටපු ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යවරයා තම ඥාතීන්ට ලබාදී තිබූ මත්තේගොඩ සහ කහතුඩුව නිවාස සංකීර්ණයන්හි නිවාස හයෙන් නිවාස පහක්ම මේ වනවිට ආපසු භාරදී ඇතැයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
ඒ අතරින් එක් නිවාසයක් මේ වනතුරු භාරදී නොමැති අතර නාගරික සංවර්ධන අධිකාරියේ වත්මන් මාධ්‍ය කළමනාකරණ මිලින්ද රත්නායක මහතා එම නිවාසයෙහි බලහත්කාරයෙන් රැඳී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
ඉතා අවම මුදලක් ගෙවමින් පදිංචි වී ඇති මෙම නිවාස ඉතාම සුඛෝපභෝගී අයුරින් ඉදිකර ඇති අතර, මේ වනවිට එම නිවාස නැවත අලෙවි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඕෂන් වීව් ඩිවලප්මන් (ප්‍රයිවට්) සමාගම විසින් මත්තේගොඩ හා කහතුඩුව නිවාස සංකීර්ණ ඉදිකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලිපි ගොනු අතුරුදන් වී ඇතැයිද අමාත්‍යවරයා කරුණු දැක්වීය.
හිටපු ජනාධිපති ආර්යාවගේ ඉල්ලීමකට අනුව මිලින්ද රත්නායක මහතාට මෙම නිවාස අතරින් එක් නිවාසයක් ලබාදී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 5ක මුදලක් වන අතර, තවත් ලක්ෂ 65ක මුදලක් ගෙවිය යුතු බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සහ නිවාස අමාත්‍යාංශය මගින් වෙන වෙනම පරීක්ෂණ සිදුකරන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවට දැන්වීය.