දේශපාලන වශයෙන් අනාථවූවන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවණැල්ල හෝ ගෙනවිත් ගොඩයාමට උත්සහ කරන බවත්, හිටපු ජනපතිගේ අවසාන මාස එක හමාරක ආහාරය වියදම කෝටි 15කට අධික වූ බවත් ජනතා විමුක්තිලා ගොඩයන්න උත්සාහ කරනවා යැයි යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
'බල පෙරළිය සහ ජනතා අභියෝග' මැයෙන් ඊයේ (09දා) සවස අනුරාධපුර නව බස් නැවතුම්පළේදී ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධාන කළ මහජන රැළියේදී ඒ මහතා මේ බව ප්රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
"විධායක ජනාධිපතිධුරය කොයිතරම් විනාශයක් කරනවාද.ඒ නිසා මේ විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ ඉවත් කළ යුතුයි. රාජපක්ෂත්, රාජපක්ෂ පවුලත්, රාජපක්ෂ කල්ලියත් අපේ රට මහා විනාශකාරී ගමනකට ඇදගන ගිහිල්ලා තියෙනවා. මහජනයාගේ දේපළ හොරා කාලා , නාස්ති කරලා, අවභාවිතයේ යොදවලා තියෙන ප්රමාණය ඡන්දෙට කලින් අපි මේ තරම් දැක්කේ නෑ.දැන් ටික ටික එළියට එන්න පටන් අරන් තියෙනවා. ඔහුගේ අන්තිම මාස එක හමාරේ කෑම බිල කෝටි 15 ½ යි.
දැන් රජයේ වාහන හම්බෙනවා තැන් තැන්වලින්, මේවා ඉඳි කටුද? පාර්ලිමේන්තුවේදී මම ඇහුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන කීයක් තියෙනවාද කියලා.රනිල් වික්රමසිංහ කියනවා දන්නේ නෑලු, සුමනදාසගෙන් අහන්නලු. දැනට වාහන 1503 ක් රාජපක්ෂ පාවිච්චි කරලා තියෙනවා. පවුලේ ඥාතියෝ, ලේකම්ලාට වාහන බෙදලා දීලා. දැන් මහජනතාව අහනවා මේ හොරකම් ගැන කියනවා විතරයි දඬුවම් දෙන් නැද්ද කියලා.
අපිටත් තියෙනවා ඒ ප්රශ්නය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති විමර්ශන ඒකකය තමයි මේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ.හැබැයි ඒ ආයතන තියෙන්නේ අපි ගාව නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග දෙන්නේ ජෝන් අමරතුංග, නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග දෙන්නේ විජේදාස රාජපක්ෂ, ජනාධිපති විමර්ශන ඒකකයට නියෝග දෙන්නේ මෛත්රීපාල සිරිසේන. ඒ ගොල්ලොන්ට තමයි ඒවා භාර. වංචාවේ දූෂණ යෙදුණ අයට දඬුවම් ලබා දීම වෙනුවෙන් අපි උපරිම බලපෑම සිදු කරනවා."