හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරින් ඉවත් කිරිමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදුනොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.
රජය විසින් මීට වසරකට පමණ පෙර ආරක්ෂක කමිටුවේ දී මෙම තීරණය ගත් බවත් රජයක් ලෙස ප්‍රභූ ආරක්ෂාව සදහා හමුදාව යොදා නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවත් ඔහු පැවැසීය.
එම තීරණය අගමැතිවරයාට හා ජනාධිපතිවරයාටත් එක හා සමාන යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අද (5 දා) මිහින්තලේ රජමහා විහාරයේ පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"රටක හමුදාව සිටින්නේ රටේ ජාතික ආරක්ෂාව සඳහා. ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ සහ මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් (STF) විසින් සපයනු ලබනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යුද හමුදා නිලධාරින් 105ක් යොදවා තිබුණා. එයින් 50ක් මේ වනවිට ඉවත් කරලා තියෙනවා.
ඒ සඳහා පොලිස් නිලධාරින් 50 දෙනෙකු යොදවා තිබෙනවා. ඉදිරියේ දී අනෙකුත් හමුදා නිලධාරිනුත් ඉවත්කර පොලීසිය යොදවනවා. එතුමාට අවශ්‍ය නම් පොලීසියේ 150ක් වුවත් ඉල්ලුවහොත් අනියුක්ත කරන්න අපි ලෑස්තියි. එතුමාගේ ආරක්ෂාව පිළිබදව කිසිදු ප්‍රශ්නයක් ඇති කරගත යුතු වන්නේ නැහැ."