හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අල්ලස් කොමිසම හමුවට කැඳවීමේ සිද්ධිය මුල්කරගෙන ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද (21දා) පැවති වයඹ පළාත් සභා රැස්වීම කල් තැබිණි.
ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීම අතරතුර ගෙනගිය විරෝධතාවයත්, ඊට එරෙහිව විපක්ෂයේ එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගෙනගිය විරෝධතාවත් හේතුවෙන් සභාව කල් තැබීමට සභාපති ධර්මසිරි දසනායක මහතාට සිදුවිය.
වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුව ගෙනයන ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභා ගර්භය තුළ විරෝධතාවක නිරත වූහ.
ආණ්ඩු පක්ෂයේ විරෝධයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතාද අදහස් දැක්වීමට යාමේදී සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය.