විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදනවලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදාදීමේ චෝදනාවන්ට වරදකරු වී වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමව දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගත වීමට අවසර ලබාදීම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (29දා)ප්‍රතික්ෂේප කළේය.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා චෝදනාවලට වරදකරු වී වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්, රුපියල් ලක්ෂ 20ක දඩ හා රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ගෙවීමට නියමව ඊට අභියාචනා ඉදිරිපත් කොට ඇති පුද්ගලයෙකු වන හෙයින් ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අදාළ නොවන බව ලලිත් වීරතුංග මහතාට විදේශගත වීමට අවසර ලබාදීම ප්රතික්ෂෙප කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් දෝහා කටාර් රාජ්‍යයේ පවත්වන වැඩමුළුවකට හා පෞද්ගලික සංචාරයකට සහභාගි වීම සඳහා තමන්ට අවසර දෙන්නැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා ඊට අවසර ලබාදීම ප්රතික්ෂෙප කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදනවලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ චෝදනාවලට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහත්වරුන් වරදකරුවන් කරමින් ඔවුන්ට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද, රුපියල් ලක්ෂ 20 බැගින් දඩද, රුපියල් කෝටි 10ක වන්දි මුදලක්ද ගෙවීමට නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මස 07 වැනිදා නියම කළේය.
එම තීන්දුවට එරෙහිව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් විසින් නීතීපතිවරයා වගඋත්තරකරු කරමින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔවුන්ට ඇප නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කළේය.
විත්තිකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන තම සේවාදායකයාට එම සරසවියෙන් ලබන අප්‍රේල් 24 වැනිදා සිට 30 වැනිදා දක්වා දෝහා කටාර් රාජ්‍යයේ පවත්වන වැඩමුළුවකට හා ලබන මාර්තු මස 25 වැනිදා සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයකට සහභාගි වීමට අවසර දෙන්නැයි ඉල්ලීමක් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ යොහාන් අබේවික්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් දැඩි කොන්දේසි මත විත්තිකරුට විදේශගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි කීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පුද්ගලයා විත්තිකරුවෙකු නොවන බවත්, ඔහු චෝදනාවන්ට වරදකරු වී වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්, රුපියල් ලක්ෂ 20ක දඩ හා රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ගෙවීමට නියමව ඊට අභියාචනා ඉදිරිපත් කොට ඇති පුද්ගලයෙකු බවත් සඳහන් කළේය.
ලලිත් වීරතුංග මහතාට විදේශගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වුවද, මේ තත්ත්වය මත විත්තිකරුවෙකු නොවන ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අදාළ නොවන බවද සඳහන් කළ විනිසුරුවරයා ඔහු මෙම නඩුවට ඇප ලබාගන්නා ලද්දේ බරපතළ රෝගී තත්ත්වයන් ඇති බව පවසමින් යැයිද සඳහන් කළේය.
එම රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු විදේශගත වන බව දැන්වූවා නම් ඒ පිළිබඳ සලකා බැලීමට හැකියාව තිබුණද, ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගත වීමට අවසර ඉල්ලා ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි දෙයකට අවසර ලබාදීමට හැකියාව නොමැති බව පවසමින් අදාළ ඉල්ලීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළේය.