ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විනිසුරුවරුන්‘ සහිත අධකරණයක් (හයිබ්‍රිඩ්) නිර්දේශ කළ බවත්,ඒපිළිබඳ තීරණයක් ගැනීම සෛවරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකා රජය සතු කාර්යයක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවදඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන්නේ මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් මිස අපරාධ පිළිබඳ පරීක්ෂණයක් නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැවසීය. එසේම එම කරුණ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවේ පැහැදිලිව තිබෙන බවද ඔහු කීය.
සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහකොමසාරිස්වරයා සිය සංචාරය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් අද (09දා) කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ පවතින ගැටලු විසඳීමේදී ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත්, කෙසේ වෙතත් එය වසර 09කට සීමාවන බවත් මහකොමසාරිස්වරයා සඳහන් කළේය.
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කරනේදැයි යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහ කොමසාරිස්වරයා, යමෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග රාශියක් තිබෙන බවත්, ඒ සඳහා පරීකෂණ කරමින් සාක්ෂි සෙයාගත යුතු බවත් කියා සිටියේය. කෙසේ වෙතත් කිසිවෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට තමාගේ සූදානමක් නැති බවද ඔහුකීය.
ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා රජය විසින් සංකේතාත්මක පියවර ගෙන තිබෙන බවත්, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ගත් ක්‍රියාමාර්ගය හා තමා ඝාතනයට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට නිදහස ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ග ඒ අතරින් ප්රමුඛ බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ නිදහස් මානව හිමිකම් කොමිසමක් ඇති කිරීමට ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජය විසින් ගත් වටිනා තීරණයක් බවද, සිය සංචාරයේදී යුද්ධයේදී බැට කෑ සියලු සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාව හමුවූ බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී කොළඹ දකින සංවර්ධනය තමාට උතුරේදී හා නැගෙනහිරදී දැකගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.
"ඔබ කොළඹ සංචාරය කරන විට විශාල ඉදිකිරීම් ස්ථාන, පිරිසුදු පාරවල්, ව්‍යාපාර දැකගත හැකියි. ඒ වගේම හොඳ සංචාරයක කර්මාන්තයක් තිබෙනවා. නමුත් ඔබ උතුරේ හා නැගෙනහිර සංචාරය කරන විට ඔබ දකින්නේ දුප්පත්කම, අවතැන් වීම්, අලාභ වූ පැතිකඩයන්" හෙතෙම සඳහන් කළේය.
වසර ගණනාවක් පැවැති යුද්ධයකින් පසුව රටක් නැවත නැගී සිටීමේදී කළ යුතු කාර්යයන් රාශියක් පවතින බවත්, එහි පදනම හොඳින් දමානොගතහොත් අනාගතයේදී ගැටලු ඇති විය හැකි බවත් සෙයිද් කුමරු පැවසීය.
"වසර ගණනාවක් පැවැති යුද්ධයකින් පසුව පිළියම් යෙදීමේදී කළ යුතු කාර්යයන් අතිවිශාලයි, සංකීර්ණයි. ඒ වගේම ආරම්භක වසරවල් ඉතාමත් තීරණාත්මකයි. පළමු වසර කිහිපයේදී ගැටලුවලට අර්ථාන්විත විසඳුම් ලබානොදුන්නොත් ඒවා විසඳීම අමාරු වේවි. තවමත් වීදුරු තිබෙන්නේ ද්‍රවීය අදියරයේනම්, ඔබ ඉක්මන් හා උපායශීලීනම් ඔබට එය හොඳ වස්තුවක් බවට පත්කළ හැකියි. ඒ වගේම එහි ආරම්භය විරූපීනම් ඔබට වරද නැවත නිවැරදි කිරීම අපහසු වේවි. ඒ වගේම ගැටුමකින් පසුව නැවත නැගී සිටීමේදී සත්‍ය පැවසීම, වගවීම, වන්දිගෙවීම හා ආයතන ප්‍රතිසංවිධානය වැදගත් වෙනවා. ඒවා හරියාකාරව කළහොත් සෞභාග්‍යය ළඟා කරගැනීමට හැකියාවක් තිබෙනවා" යැයි ඔහු පැවසීය.
මෙහිදී ආරම්භක අදිරයේදී හමුදාව සතුව පවතින සාමාන්‍ය ජනතාව සතු ඉඩම් නිදහස් කිරීම, එසේම උතුරු හා නැගෙනහිර සිටින හමුදා අඩුකිරීම, ආරක්ෂක හේතූන් මත රඳවා තබාගෙන සිටින්නන් නිදහස් කිරීම වැනි ක්‍රියාමාර්ග ඉක්මනින් ගතයුතු බවදකුමරු කියා සිටියේය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේද අනුග්‍රහය ඇතිව මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ යෝජනාවේ සඳහන් දේවල ගැටලු පවතින බවත්, තම කාර්යාලය එය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවත් ඔහු සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසමේ යෝජනාවෙන් කිසිසේත්ම ශ්‍රී ලංකාවේ සෛවරීභාවයට හා නිදහසට ගැටලුවක් ඇති නොවන බවද ඔහු සඳහන් කළේය.
"ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට උදව් කිරිමට ජාත්‍යන්තරයට අවශ්‍යයයි. ශ්‍රී ලංකා හමුදාවේ කීර්තිය ඉහළ නැංවීමට ජාත්‍යන්තරයට අවශ්‍යයි. එවට ජාත්‍යන්තර සාම සාධක කාර්යයන් සඳහා ශ්‍රී ලංකාවට එක්විය හැකියි. නමුත් මේ සියලු දේවල් වීමට නම් ශ්‍රී ලංකාවේ අතීත් යක්ෂයා විනාශ කළ යුතු වෙනවා. වැඩකරන ආයතනය නිර්මාණය කළ යුතු වෙනවා. වගවීම තහවුරු කළ යුතු වෙනවා." යැයි ඔහු පැවැසීය. එසේම ඒ සඳහා අවශ්‍ය උපකාර සිය කාර්යාලය මගින් ලබාදීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව සමීපව අවධානයෙන් සිටින බවත් මහකොමසාරිස්වරයා පැවැසීය.තමා නැවතත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.