අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්රිඩ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් ශ්රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කර ඇති බව බී.බී.සී.ය කියයි.
වගවීම ක්රියාත්මක කිරීම සඳහා පුළුල් මූලෝපායයක් නොමැතිවීම හේතුවෙන් ශ්රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරභාවය උදාකිරීම සඳහා මතු වී තිබෙන මහඟු අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතින බවද මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පවසා තිබේ.
ඒ බව සඳහන් වෙන්නේ, 2002 සිට 2011 දක්වා ශ්රී ලංකාවේ සිදු වූ 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිකුරාදා නිකුත්කළ වාර්තාවකය.
එහෙත් අදාළ විමර්ශනය සඳහා විදේශීය විනිසුරන් සම්බන්ධ කරනොගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන කිහිපවතාවක්ම අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත්, ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්රණ සඳහා වූ ප්රවිචාරණ කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ ක්රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්රසංශාවට ලක්ව තිබේ.
7000 කට අධික ශ්රී ලංකා පුරවැසියන්ගේ අදහස් විමසා කාර්ය සාධක බලකාය විසින් සකස් කරනලද වාර්තාවේ නිගමන ක්රියාවට නගන මෙන් ශ්රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරන මහකොමසාරිස්වරයාගේ කාර්යාලය, තවත් ප්රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ. ඒවා නම්,
-
සංහිඳියා ක්රියාදාමය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ක්රියාදාමයක් දියත් කිරීම
-
මහකොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්රී ලංකාවේ පිහිටුවීම සඳහා ආරාධනා කිරීම
-
හමුදාව විසින් අත්පත්කරගෙන සිටින පුද්ගලික ඉඩම් යළි භාරදීමට ප්රමුඛත්වය දීම
-
පොලිසිය, හමුදාව සහ බුද්ධි අංශවලට එරෙහිව එල්ලවන වදබන්ධන පැනවීම් සහ ලිංගික හිංසන චෝදනා විභාගකොට දඬුවම් කිරීම
ශ්රී ලංකාව සම්බන්ධ මහකොමසාරිස්වරයාගේ වාර්තාව ලබන මාර්තු 22 වැනි දින මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.