හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී යුද සැමරුමක් පැවැත්වීමට සූදානම් බවට තමන්ටද තොරතුරු වාර්තා වී ඇති බවත්, හමුදා ප්‍රධානීන්ගේ අවසරයකින් තොරව කිසිදු හමුදා නිලධාරියෙකුට එම අවස්ථාවට සහභාගිවිය නොහැකි බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී මැයි 18 වැනිදා රජය විසින් නිල වශයෙන් පවත්වන ජාතික රණවිරු දින සැමරුම සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බවද ආරක්ෂක ලේකම්වරයා කීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.
මේ අතර පවතින වර්ෂා කාලගුණ තත්ත්වය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ දායකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන බැවින් මේ වනවිට සියලුම හමුදා අවශ්‍ය කටයුතු සඳහා යොදවා ඇති බවයි.
දෙහිඕවිට නායයාම සිදු වූ ස්ථානයට යුද හමුදාව යෙදවූ බවත්,කොළොන්නාව ප්‍රදේශයට නාවික හමුදාව බෝට්ටු ලබාදුන් බවත්,කොළඹ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය,ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමග එක්ව අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් ඒ මහතා පැවසීය.
ත්‍රිවිධ හමුදාවේ සියලුම මෙහෙයුම් මධ්‍යස්ථාන හරහා ආපදා තත්ත්වයන් සොයාබලමින් මහජනතාව දැනුම්වත් කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.