ජාතිකත්වය පිළිබඳව කතා කරන විට තමාව ගෝත්‍රිකයෙකු ලෙසින් හඳුන්වන බවත්, දේශපාලනයට අවශ්‍ය ගෝත්‍රිකයන් බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අනුරාධපුරයේ ඊයේ (19දා) පැවැති ආගමික උත්සවයකදී ඔහු මේ බව පැවැසීය. ඔහු මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාවද ප්‍රසිද්ධියේ විවේචනය කළේය.
“අපේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න මහ විශාල අමාත්‍යාංශයක් තිබෙනවා. ඒක බාර ඇමතිතුමාට අපේ රටේ ඔක්කොටම වකුගඩු රෝගය වැලඳිලා මියගියත් ප්‍රශ්නයක් නෙමෙයි කරන්න වැඩ තිබෙනවා.
මුළු රටේ ජනතාව ඩෙංගු රෝගය වැලඳිලා මිය ගියත් කමක් නෑ සෞඛ්‍ය ඇමතිට කරන්න වැඩ තිබෙනවා. මුළු රටේම විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටිලා උගතුන් බිහිවෙන එක නැවතුනත් කමක් නෑ. සෞඛ්‍ය අමැතිට කරන්න වෙන වැඩ තිබෙනවා.
ඒ තමයි පළිගන්න එක. එතුමා තමයි නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්න වෙලාවක් තියෙනවායැ. මේවා ගැන කතා කරන කොට, සිංහල මිනිස්සුන්ට, බුද්ධ ශාසනයට වූ හිරිහැර කතා කරනවා නම් අපි ජාතිවාදීන්.
අපි ඒවා රකින්න ඕන කියන කොට බුද්ධ ශාසන ඇමතිවරයා හඳුන්වන්නේ ගෝත්‍රිකයා කියලා. අද හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික රැකගන්න ඕන කියන කොට අධිකරණ අමැතිවරයා ගෝත්‍රිකයා.
රණවිරුවෝ ටික යුද අපරාධ දාලා පෝරකයට ගෙනියන්න දෙන්නේ නෑ කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා. අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕන කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා.
නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරන්න ඕන කියන කොට අධිකරණ ඇමති කුමන්ත්රණකාරයා. අධිරාජ්‍යවාදී වහල් මානසිකත්වයෙන් ගොඩට එන්න බැරි නිවට දේශපාලඥයෝ අපිව හඳුන්වන්නේ ගෝත්‍රිකයෝ කියලා. ගෝත්‍රිකයෝ කොච්චර හොඳද? දේශපාලනයට ඕන ගෝත්‍රිකයන්.
යහපාලනය කියන්නේ හොරකම් කරන එකවත් හොරකම් කරන අය අල්ලන්නේ නැතිව ඉන්න එකවත් නෙමෙයි. හොරා ගිය ආණ්ඩුවෙත් හොරා මේ ආණ්ඩුවේ හිටියත් හොරා. හොරාට ලේබල් දෙකක් නෑ. කොළපාට හොරයි නිල්පාට හොරයි කියලා නෑ. අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ ව්‍යවස්ථාව ඇතුළේයි.”