හම්බන්තොට වරායේ වියදම තවදුරටත් කොළඹ වරාය මගින් දැරීම නවතාලමින් හම්බන්තොට වරයාටද වෙනමම ලාභ අලාභ ගිණුමක් පවත්වාගෙන යාමට වරයා හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ අවධානය යොමුව තිබේ.
2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වුවත් එහි අදායම රුපියල් මිලියන 135ක් වීම හේතුවෙන් එම වසරේ අලාභය රුපයිල් මිලියන 678කි. එම අලාභය කොළඹ වරායේ අදායමෙන් පියවා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යාංශය ඊයේ (10දා) නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදු වූ දූෂණ වංචා සෙවීමට සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ කමිටුවක් පත් කරන බවයි. පසුගිය කාලයේදී ගුවන් සේවාවේ සිදු වූ දූෂණ වංචා සෙවීමට තමන් පත් කළ කමිටුවේ වාර්තාව සේම ලංකා වරාය අධිකාරියේ දූෂණ වංචා සෙවීම සඳහා පත් කිරීමට යෝජිත කමිටුවේ වාර්තාවෙන්ද වැදගත් කරුණු රැසක් අනාවරණය වනු ඇතැයි අමාත්‍යවරයාගේ විශ්වාසයයි.