හමුදාවට ආහාර සැපයීමේදී වංචාවක් සිදුව ඇතැයි යනුවෙන් මාතර දිස්ත්‍රික් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24දා) කටයුතු කළේය.
ඔහුට තොරතුරු ලැබුණ ආකාරය පිළිබඳව ප්‍රකාශ ලබාගෙන තිබේ. තමන් ඒ තොරතුරු ලබානොදෙන බව ඔහු මාධ්‍යට පැවැසීය. ආණ්ඩුවක් පත්වූ විට එහි මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයට, ජනපති ලේකම් කාර්යාලයට කැඳෙව්වත් තමන්ව හතරවෙනි තට්ටුවට කැඳවන බව ඔහු කීවේය.
“සාමන්‍යයෙන් අලුත් ආණ්ඩුවක් පත්වුණාම ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කැඳවන්නේ අරලියගහ මන්දිරයට, ජනපති මන්දිරයට. ඒ මන්ත්‍රීවරු විපක්ෂයේ සිටියදී කරපු කාර්යභාරය අගයලා කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය අමාත්‍යධුර, නියෝජ්‍ය අමාත්‍යධුර දෙනවා. මාව ඇගයීමට ලක්කරන්න කැඳවලා තියෙන්නේ හතරවෙනි තට්ටුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.
පහුගිය වකවානුවේ මම කතාකළා 2010දී ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව (ගැන වටිනාකම) රුපියල් බිලියන 50යි. ඒ කොන්ත්‍රාත්තුව බිලියන 16න් කරන්න පුළුවන්. ඒ වංචාව දූෂණය පිළිබඳ තොරතුරු සාධක සහිතව කතාකළා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මට කතා කරලා කියනවා. මගේ ගෙදරට එන්න අවශ්‍යයිලු මේ ලිපි ලේඛණ මට ලැබුණේ කොහොමද කියලා ප්‍රකාශයක් ලබා ගන්න.
මම කිවුවා හතර මායිමට එන්න එපා ගෙදර පිළිකන්නේ, ලිප් බොක්කේ ප්‍රකාශ දෙන්න තරම් කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් මට නෑ. ඒ නිසා මම සී.අයි.ඩී.යට එන්න ලෑස්තියි කියලා කිවුවා. දැන් අන්න පුතේ හඳ කිවුවාම හඳ ගැන හොයන තත්ත්වයට නෙමෙයි ඇගිල්ල ගැන හොයන තත්ත්වයට පත්වෙලා. මේ පැමිණිල්ල කරන්නේ වර්තමාන හමුදාපති. ඇයි මේ හමුදාපති හොරු රකින්න හදන්නේ. හමුදාපති පත්කළේ වර්තමාන ජනාධිපති. ඒ හමුදාපති වංචාව දූෂණය ගැන හොයනවා නෙමෙයි මට මේ ලිපි ලේඛණ ලැබුණ හැටි හොයනවා.
මට මෙතන හිටවලා ඇණ ගැහුවත්, සී.අයි.ඩී. මහත්වරුන්ට අතට දෙන්නේ නෑ. මට තොරතුරු විවිධාකාරයෙන් ලැබෙනවා. ඒ ලැබෙන තොරතුරු මම දෙන්න ලෑස්තු නෑ. මේ සියල්ල මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා”