යේමන් ජාතිකයකු ඝාතනය කළේ යැයි සෞදි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි ඔවුන්ගේ ඥාතීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
මහව, රාගම හා දෙහිවල පදිංචිකරුවන් වන නිලන්ත බණ්ඩාර තෙන්නකෝන්, ගයාන් උජිත නානායක්කාර හා ක්‍රිස්ටි වෙදමානික්කම් මෙලෙස සෞදි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූවෝ වෙති.
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් 2008 ජනවාරි 31 වැනිදා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ජෙඩා හිදී මරණයට පත් කළ යේමන් ජාතික ඔමාර් යෙස්ලම්ගේ මරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින තිදෙනා වන්දි ගෙවා සමාව ලබාගැනීමට හැකි බව ජෙඩාහි තානාපති කාර්යාලය දැන්වූ බවය.
එම වන්දිය ගෙවීමට පෞද්ගලිකව නොහැකි නම් දානපතියෙකු හෝ ස්වේච්ඡා සංවිධානයක් මාර්ගයෙන් කළ හැකිද යන්න දන්වන ලෙසත් ඔවුන් පවසා ඇත.
ශ්‍රී ලාංකිකයන් තිදෙනා කෙසේ හෝ බේරා දෙන ලෙස ඔවුන් එකල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැන්වුවද සහනයක් ලැබී නැත.
ඔවුන්ගේ ඥාතීන් කියනුයේ පෙබරවාරි මාසයේ ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට දැනගන්නට ඇති බවයි. වසර අටක් තිස්සේ සිරගතව සිටින මේ තිදෙනා නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි ඔවුහු ජනාධිපතිගෙන් ඉල්ලති.