නීති විරෝධී අයුරෙන් සෞදියේ රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා ලබාදුන් මාස 03ක පොදු සමාකාලය තුළ එරට රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 3500කට ආසන්න ප්‍රමාණයකට දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම පොදුසමා කාලය 2017 මාර්තු මස 21 වන දින සිට 2017 ජූනි මස 25 දක්වා ලබාදී තිබෙන අතර, මෙම කාලය තුළ නීති විරෝධී අයුරින් රැඳීසිටින්නන් එරටින් පිටවීම අනිවාර්යය බවත්, පොදු සමාකාලය අවසන් වීමෙන් පසු කිසිදු හේතුවක් මත එම කාලසීමාව දීර්ඝ නොකරන බවත්, සෞදි රජය ප්‍රකාශ කර සිටියි.
එම කාලසීමාව තුළ එරටින් පිට නොවී තවදුරටත් රැඳීසිටින්නේ නම්, එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඩ මුදලකටද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කරන බවත් එරටින් දන්වා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ හේතුවෙන් තවදුරටත් නිතීවිරෝධී අයුරෙන් එරට තම ඥාතීන් රැඳීසිටින්නේ නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත්, මෙම කාල සීමාව තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයන්ට නැවතත් සෞදි අරාබියට නීත්‍යානුකූල ලෙස පැමිණිය හැකි බවත් එරට ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා සඳහන් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටියේය.