සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි කන්දයියා දර්ශනී නැමති සිය බිරිඳ අභිරහස් ලෙස මිය ගොස් ඇති බවට ඇගේ සැමියා වන මස්කෙළිය බ්‍රන්ස්වික් තේ වත්තේ, මැටින්හැම් කොටසේ පදිංචි වතු කම්කරුවෙකු වන ඩබ්ලිව්. ඒ වසන්ත කුමාර නැමති අය මස්කෙළිය පොලීසියට පැමිණිලි කර ඇත.
දැනට වසර 02කට ප්‍රථම තැරව්කරුවෙකුගේ මාර්ගයෙන් විදේශ රැකියා ඒජන්සියක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය සඳහා ගිය බවත්, 2014.08.24 දින සිට ඇය සේවය කරමින් සිටි නිවසින් අතුරුදන්ව ඇති තම බිරිඳගේ මළ සිරුර මාස 04කට පමණ පසුව අතහැර දමන ලද මඩුවක තිබී ගොවි මහතෙක් විසින් සොයාගෙන ඇති බවත්, ඒ පිළිබඳව සෞදි අරාබි පොලීසිය පරීක්ෂණ පවත්වන බවට, තමන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට කරන ලද පැමිණිල්ලකට පසුව එහි නියෝජ්‍ය අධ්යක්ෂ කේ.එම්. ආර්. පෙරේරා මහතා විසින් පසුගිය ජනවාරි 30 වැනිදා තමන්වෙත ලිඛිතව දැන්වූ බව ඩබ්ලිව්. ඒ වසන්ත කුමාර මහතා මස්කෙළිය පොලීසියට පැමිණිලි කර ඇත.
මෙසේ අභිරහස් ලෙස මියගිය බවට සැක කරන කන්දයියා දර්ශනී නැමති අය විදේශගතවීම සම්බන්ධයෙන් කටයුතු කරන ලද තැරව්කරුවන්ට හා ඒජන්සි හිමි කරුට එරෙහිව නීති මගින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, තම බිරිඳගේ මළ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසත් ඩබ්ලිව්. ඒ. වසන්ත කුමාර මස්කෙළිය පොලීසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක