රටෙහි පැවති අහිතකර දේශපාලන ප්රවාහයන් නිවැරදි මඟට යොමු කිරීම සඳහා සෝභිත හිමිපාණන් වහන්සේ තුළ වූ අධිෂ්ඨානය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ පොදුජන ක්‍රියාවලියට තීරණාත්මක මඟපෙන්වීමක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ පුවත මුළු මහත් ජාතියේම සංවේගයට හේතුවක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශෝක පණිවුඩයක් නිකුත්කරමින්ය. තමාගේ නායකත්වයෙන් යහපාලන රජයක් බිහිකරමින් රට නිවැරදි දිශානතියකට ගෙනයාම සඳහා උන්වහන්සේ ලබාදුන් ඉමහත් ධෛර්යයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා උන්වහන්සේ පැතූ සමාජ සාධාරණත්වයෙන් යුත් සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පරම වගකීමක් බව පණිවුඩයේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සමාජ හා ශාසනික උන්නතිය, ආගමික සහජීවනය පිළිබඳව මෙන්ම ප්රජාතන්ත්රවාදයේ ගුණාංග රට තුළ තහවුරු කිරීම උදෙසා උන්වහන්සේ අප්‍රතිහත ධෛර්යකින් යුක්තව කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසයි.