තලාව, බිඳුන්කඩ පිහිටි චන්ද්රාණිගම රජයේ නිවාස ව්‍යපෘතියේ නිවාස කිහිපයක ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ගලවාගෙන යාමේ සංවිධානාත්මක කල්ලියක සමාජිකයන් තිදෙනෙකු ගම්මුන් විසින් කොටුකර අල්ලා ගෙන, පහරදී, විදුලි කණුවක බැඳීමෙන් පසුව අද (24දා) උදෑසන පරීක්ෂණ සඳහා තලාව පොලිසීයට බාරදී තිබේ.
මාස කිහිපයක සිට පුද්ගලයන් පදිංචි වී නොමැති තලාව පොලිස් වසමේ හිදෝගම සමනල පාර බිඳුන්කඩ ප්‍රදේශයේ පිහිටි චන්ද්රාණිගම රජයේ නිවාස ව්‍යාපෘතියේ පිහිටි නිවාස රැසකින් සෙවිලි ඇස්බැස්ටෝස් ගලවාගෙන යෑම සම්බන්ධයෙන් ගම්මුන් අවධානයෙන් සිට ඇති අතර, ඊයේ (23දා) රාත්‍රියේ නිවසක තිබූ අස්බැස්ටෝස් සෙවිලි තහඩු 26ක් ගලවා රැගෙන යාමත් සමග ගම්වාසීන් සැකකරුවන් ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
ගම්වාසීන් පිරිසක් නිවසේ සෙවිලි තහඩු ගලවා රැගෙන ගිය ලොරි රථයේ ගමන් මාර්ගය ඔස්සේ ගමන් කරද්දී ප්‍රදේශයේ පිහිටි නිවසකට රථය පිටුපසට ධාවනය කර තිබෙන අයුරු දැක නිවෙස් හිමියන්ගෙන් ලොරි රථයකින් කවුරුන් හෝ පිරිසක් පැමිණියේ දැයි විමසා තිබේ.
නිවෙස් හිමිකරුවන් තරුණයන් සිවුදෙනකු හා වයෝවෘද්ධ පුද්ගලයෙකු එහි පැමිණි බවත්, ඔවුන්ගේ යතුරු පැදියක් නිවසේ නතර කර පසුව රැගෙන යෑමට පැමිණෙන බව පවසා පිටත්ව ගිය බවත් ගම්වාසීන් තරුණයන්ට පවසා තිබේ.
ඒ අනුව බිඳුන්කඩ ගම්මානයේ තරුණයන් විසිදෙනෙකු පමණ ඇස්බැස්ටෝස් තහඩු සොරකමේ නිරත පිරිස අල්ලා ගැනීමට කැලෑවේ සැඟවී සිට ඇති අතර, සැකකරුවන් තිදෙනෙකු තවත් යතුරු පැදියක නැගී නිවසේ නතර කරගිය යතුරු පැදිය රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදී අල්ලා ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් පැමිණ විදුලි කණුවේ බැඳදමා සිටි වයස අවුරුදු 25 පමණ වන තරුණයන් දෙදෙනෙකු හා වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි බව පැවසෙන යතුරු පැදි දෙකක්ද පොලිස් බාරයට ගෙන තිබිණි.
ඔවුන්ගේ ප්‍රකාශ මත අනුරාධපුර නගරයේ තුන්වන පියවර ජයසිරිපුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ සෙවිලි තහඩු තොගය අත්අඩංගුවට ගෙන තබේ.