කෙටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධියේ නඩු විභාගයට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය මීගමුව මහාධිකරණය විසින් එළැඹෙන 03දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඝාතනයට අචාළව නීතිපතිවරයා නියෝජනය කරමින් මීගමුව මහාධිකරණයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැය හයකට අධික කාලයක් තිස්සේ පැමිණිල්ලේ නීතිඥ දේශනය පවත්වමින් විත්තිකරු අපරාධය සිදු කළ ආකාරය ස්වාධීන සාක්කි මෙන්ම විත්තිකරුගේ පාපොච්චාරණය හා සාක්කිය අනුසාරයෙන් සිකුරාදා 26 අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය නිදි ඇදේ සිටියදී පැහැර ගැනීමට ලක්වූ අතර 13 වැනිදා ඇගේ නිරුවත් මළ සිරුර නිවසට තරමක් නුදුරින් අරවින්දවත්ත ඇළ මාර්ගයේදී සොයාගන්නා ලදී.
ඝාතනය ප්‍රධාන සැකකරුවන සමන් ජයලත්ගේ ඞී.එන්.ඒ වාර්තා මියගිය දැරියගේ සිරුරෙන් සොයා ගත් ආගන්තුක ජෛව කොටස් හා සැසදෙනු ලැබීය. පසුව නීතිපතිවරයා විසින් දෙසැම්බර් මස 23 වැනිදා බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණයේදී සැකකරුට එරෙහිව අධිචෝදනා බාරදෙනු ලැබීය.
බාල වයස්කාරියක වූ සේයා සදෙව්මි බක්මීදෙණිය යන අය මරණයට පත් කිරීම සඳහා හෝ මරණය ලැබීමේ අන්තරායකට භාජනය විය හැකි ලෙස ඇගේ නීත්‍යානූකූල භාරකාරිය වූ සමන්ති රේණුකා යන අයගේ භාරකාරත්වයෙන් එම දැරිය අපහරණය කිරීම, එකී කි‍්‍රයා කලාපයේදීම බාල වයස්කාරියවූ එම දැරිය දූෂණය කිරීමේ වරද සිදුකිරීම, එකී කි‍්‍රයා කලාපයේදීම ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා බරපතල ලිංගික අපයෝජනය කිරීම හා දැරියගේ මරණය සිදු කිරීමෙන් මීනිමැරීමේ වරද යන චෝදනා යටතේ සැකකරුට අධිචෝදනා බාරදුන්නේය.
මෙහි පළමු සහ දෙවැනි චෝදනාවන් විත්තිකරු පිළිගත් අතර සෙසු චෝදනාවන්ට නිවැරදිකරු බව පැවසීමෙන් නඩු විභාගය ජනවාරි 25 වැනිදා ඇරඹිණි.සාක්කි ලේඛණයේ සදහන් තිස් දෙනාගෙන් හය දෙනෙකුගේ පමණක් සාක්කි ලබා ගැනීමෙන් පසු ජනවාරි 29දා නඩුවේ විභාගය අවසන් කෙරුනි.