අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කාන්තා සූදු පොලක් වටළා එහි සූදු කෙළියේ නිරතව සිටි කාන්තාවෝ හය දෙනෙක් ඊයේ (19දා) සවස අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් කාන්තාවන් ගෙන් එක් අයෙක් වයස අවුරුදු 55 ක් වන අතර ඉතිරි කාන්තාවෝ පස් දෙනාම වයස අවුරුදු 30 ට අඩු අය වෙති. එක් ගර්භිනී කාන්තාවක් සහ කිරි බොන අත දරුවෙක්ද එක්ව තවත් කාන්තාවක් මෙසේ අත්අඩංගුවට පත්වූ අය අතර වෙති.
අත් අඩංගුවට ගත් කාන්තාවන් හය දෙනාම විවාහක, දරුවන් සිටින අය වන බවත්, මේ අයගේ ස්වාමිපුරුෂයන් විවිධ රැකියාවල නිරත වන හෙයින් දරුවන් තැන් තැන් වල දමා සූදු කෙළියේ සිටින බවත් අණාවරනය වි ඇති බව පොලිසිය කියයි.
සූදු පොලේ තිබි රුපියල් 1500 ක් මුදල් හා කාඩ් කූට්ටමක් ද, රෙදි කඩක්ද පොලිස් භාරයට ගෙන ඇත. කාන්තාවන් අත් අඩංගුවට ගැනිමට යෑමේ දී කාන්තාවන් පැන යෑමට උත්සාහ දරා ඇති බවද පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් කාන්තාවන් හය දෙනා (19) පොලිස් ඇප මත මුදා හැරිමට පියවර ගෙන ඇත.
අම්බලන්තොට සනත් ගමගේ