ත්‍රිපෝෂ සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන 'සුපෝෂ' අලෙවිය හරහා 2017 වර්ෂය තුලදී රුපියල් මිලියන 103ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර, ඒ අනුව එම සමාගම විසින් රුපියල් මිලියන 200ක මුදලක් පසුගිය වසරේදී මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.
'සුපෝෂ' අලෙවි නියෝජිතයන් 40ක් පමණ මේ වනවිට දිවයින පුරා සේවයේ නිරත වෙති.
මේ අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය 100%ක් යන්ත්‍රානුසාරයෙන් නිපදවීම සඳහා රුපියල් මිලියන 100ක වියදමින් ඉදිකළ පටිවාහක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ දී පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සේවක සේවිකාවන්ට 10%ක බෝනස් මුදලක් පිරිනැමීමද එහිදී සිදු වූ අතර ඊටඑක්වූ අමාත්‍ය සේනාරත්න මහතා අදහස් දක්වමින්,
“රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නොහැකි බවට මතයක් තිබුණා. නමුත් මම අමාත්‍ය ධුර දැරූ අමාත්‍යාංශවල රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළා. ලාභයෙන් කොටසක් සේවක සේවිකාවන්ටත් ලබාදුන්නා. මම ඉංජිනේරු අමාත්‍යවරයා ලෙස සිටියදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ශුද්ධ ලාභය කෝටි 29යි. නමුත් මගෙන් පසු අමාත්‍ය ධුරයට පත් වූ පුද්ගලයා මාස 06න් එම මුදල ඉවර කළා. රාජ්‍ය ඖෂධ සංස්ථාව මේ වනවිට ලාභ ලබනවා. එමනිසා සේවක වැටුප සියයට 50කින් වැඩි කළා. ත්‍රිපෝෂ සමාගමද තවත් ලාභ ලැබිය යුතුයි. එවිට ඔබට ලැබෙන බෝනස් මුදල වැඩිවෙයි”යනුවෙන්ද පවසා සිටියේය.