ශ්රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී විභාගය සමත් පිරිස් ඉවත් කර අඩු සුදුසුකම් සහිත දේශපාලන හිතවතුන් බඳවාගැනීමට උත්සාහ කරමින් සිටින බව රාජ්ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම තනතුරු සඳහා බඳවා ගැනීමේ විභාගයක් පැවැත්වූ බවත්, විෂයන් හතරකින් සමන්විත වූ එම විභාගයේදී ලකුණු 200ට වැඩියෙන් 78 දෙනෙකු සිටින බවද එම සංගමයේ ප්රධාන සභාපති පලියහවඩන මහතා සඳහන් කළේය.
සමස්ත පුරප්පාඩු ප්රමාණය 79ක් බවත්, ලකුණු 200ට අඩුවෙන් ලකුණු ලබාගත් නිලධාරියෙකු සමග 79 දෙනා සම්මුඛ පරීක්ෂණයකට ලක්කර සම්මුඛ පරීක්ෂණවලින් සමත් පිරිස් බඳවාගෙන පුරප්පාඩුවක් සිදුවුවහොත් ඒ සඳහා විභාගයෙන් ආසන්න ලකුණු ලබාගත් පිරිස් දෙවන අදියර යටතේ බඳවා ගැනීමට හැකියාව තිබූ බවද පවසා සිටියේය.
එහෙත් එවැනි ක්රම‘වේදයකට නොගොස් විභාගයට මුහුණදුන් 102ක් තෝරාගෙන ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කරමින් සිටින බවද ප්රධාන සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව සමුම්ඛ පරීක්ෂණයේදී දේශපාලන හිතවතුන්ට වැඩි ලකුණු ප්රමාණයක් ලබාදෙමින් විභාගය ඉහළින් සමත් පිරිස් ඉවත් කිරීමේ කුමන්ත්රණයක්ද දියත් කරමින් සිටින බවද කියා සිටියේය.
සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 100ක් හිමිවන අතර, ලකුණු 200ක් ලබාගත් කෙනෙකුට ලකුණු 20ක් 25ක් ලබාදී ලකුණු 170ක් 180ක් ලබාගත් පිරිස්වලට සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 70ක් 80ක් ලබාදීම හරහා යම් ජාවාරමක් සිදුකළහැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.