ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය විසින් සීල් කරනු ලැබූ ඉන්ධන හල් නැවත විවෘත කරන ලෙස ඇමතිවරු කිහිප දෙනෙකු විසින් තමන්ට බලපෑම් කරමින් සිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සදහන් කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ කොලොන්නාව නිමාවේ විශේෂ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කොලොන්නාව නිමාවේ ස්ථාපිත කෙරුණු ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් එම නීරීක්ෂණ චාරිකාව පැවැත්විණ.
“අපි පහුගිය දවස්වල ඉන්ධනහල් කිහිපයකට සීල් තැබුවා. ඔය එහෙට මෙහෙට පනින ඇමතිවරු අහනවා ඒවා නැවත අරින්න බැරිද කියලා. මම ඉතාමත් වගකීමකින් කියනවා මොන බලපෑම් ආවත්, කවුරු මොනවා කිව්වත්, භූමිතෙල් කලවම් කිරීම ඇතුළුව මේ රටේ ඉන්ධන මාෆියාව මම ඉක්මනින්ම නතර කරනවා......” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ හෙල්මට් දාගෙන දේශපාලනය කිරීමට තරම් තමන් බියගුළු පුද්ගලයෙක් නොවන බවයි. ඇමැතිකමින් ඉවත් කළත් නැවත් තමන් ඉන්ධන මාෆියාව නතර කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.