නොබැඳි පිළිවෙත අනුව සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සංවර්ධන කටයුතුවලදී සියලු රටවල සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හොඳහිත වර්ධනය කරගැනීමටද ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය මයිකල් ෆැලන්ඩ් මහතා සමග අද (09දා) පස්වරුවේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නව සැලසුමක් අනුව බවයි. විදේශ ප්රතිපතිවලටද නැවුම් මුහුණුවරක් ලබාදෙමින් කලාපයේ රටවල් සමග ඇති මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලාංකික ජනතාව තමා ජයග්‍රහණය කරවූයේ බිය සැක නැති රටක් ගොඩනැගීමට බවද පැවසූ ජනාධිපතිවරයා එම අරමුණු ඉටුකරන අතරම දුගී බවින් තොර, ආදායම් පරතරය නැති රටක් ගොඩනගන බවද ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර කටයුතුවලදී මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය‘යේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා බ්‍රිතාන්‍ය‘යේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.
රටට මත්ද්‍රව්‍ය ගලා එන මාර්ග පිළිබඳව දැනුවත් කළහොත් එය වැළැක්වීමට උපරිම සහාය ලබාදිය හැකි බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
උතුරු නැගෙනහිර පළාත්වල කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවකට ලක් වූ අතර, ත්‍රස්තවාදය අවසන් වී වසර 05 ක් ඉක්මගියද එහි ජනවර්ග, භාෂා සහ ආගම් අතර එකඟතාවක් තවමත් ඇති වී නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එම තත්ත්වය නැතිකර සියලු ජනතාව අතර අවබෝධය, විශ්වාසය සහ එකඟතාව ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ මූලික අරමුණ බවද ඔහු කියා සිටියේය.
උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ පැසසුමට ලක්විය. ආරක්ෂක හමුදා විසින් තම කටයුතු සඳහා යොදාගෙන තිබූ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල ක්‍රියාත්මක කර ඇති බවත්, කොළඹ ප්‍ර‘දේශයේ ඇති එවැනි ඉඩම්ද එහි හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු පිළිබඳ සොයාබැලීමට ආණ්ඩුවේ සියලු ඇමතිවරුන්ට උපදෙස් ලබාදී ඇති අතර, හමුදා ආණ්ඩුකාරවරයා වෙනුවට එම ජනතාවගේ පරිපාලන කටයුතු වෙනුවෙන් සිවිල් පරිපාලන නිලධාරියෙකු පත්කර යවා ඇති බවද ජනාදිපතිවරයා ප්‍රකාශ කළේය.
හමුදා සාමාජිකයන් සාම සාධක කටයුතු සඳහා යොමුකරන ලෙස මෙහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, දැනටමත් ඔවුන්ගේ සේවය හයිටි වැනි රාජ්‍යයන්ට ලබාදී ඇති බවත්, ගුවන් යානා පවා එලෙස යොමුකර තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමග ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ මෙහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් විමසූ අතර,ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ ඉන්දියාව සිය අසල්වාසී මිතුරු රාජ්‍ය වන අතර, චීනය කලෙක සිට ශ්‍රී ලංකාවේ සුවිශේෂී මිතුරෙකු බවයි. එම රටවල් සමග තම ආණ්ඩුව කටයුතු කරන්නේ දැඩි අවබෝධයකින් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.