ඉදිරියේදී සියලු ජාතික පාසල්වල සුහුරු පන්ති කාමර ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එ සඳහා ගුරුවන් පුහුණු කිරීම හා දැනුම ලබාදීම කළ යුතු බවත් ඔහු පැවැසීය.
කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ආදර්ශ සුහුරු පන්ති කාමර නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව අද (29දා) ඔහු මෙම අදහස් දැක්වීය.
“ඉදිරියේ දී දිවයින පුරා ජාතික පාසල්වල මෙවැනි පන්ති කාමර ආරම්භ කිරීමට අපි යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කරමින් දැනුම ලබාදිය යුතු වෙනවා. එමෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරන අතර ද්විතීය මට්ටමේ දී පාසල් විෂය මාලාව සඳහා වෘත්තීය විෂයයන් ඇතුළත් කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව ඉදිරියේ දී වෘත්තීය පුහුණු ආයතන හරහා මෙම සුහුරු පන්ති කාමර සංකල්පය අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තවත් දශකයක පමණ කාලයක් ගත වන විට මෙම නව ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කරවීම අපේ බලාපොරොත්තුවයි.”