ඩී.බී. නිහාල්සිංහයන් වැනි ප්‍රතිභාපූර්ණ, දක්ෂ, සොඳුරු මිනිසුන් නැවත හමුනොවන බවද ඔහුගේ සමුගැනීම දැන තමන් මහත් සංවේගයට පත්වූ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
සිනමාවේදී ඩී.බී නිහාල්සිංහ මහතාගේ අභාවය ගැන ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සදහන්
මෑත කාලයේ සිංහල සිනමාවේ යුග පුරුෂයන් රැසක් නික්ම ගියේ නැවත පුරවාලිය නොහැකි මහා හිඩැසක් සිනමා ක්ෂේත්රය මතු නොව සමස්ත සමාජය තුළ ශේෂ කරමිනි. මහාචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් ජීවිතයෙන් සමුගත් බව අසන්නට ලැබුණු මොහොතේ ඒ හිදැස තව තවත් පුළුල් වන බව ද, එවන් ප්‍රතිභාපූර්ණ, දක්ෂ, සොඳුරු මිනිසුන් නැවත හමුනොවන බවට ද දැනුණු හැඟුමින් මම මහත් සංවේගයට පත් විමි.
ඩී.බී. නිහාල්සිංහ සිංහල සිනමාවේ දැවැන්තයකු වන්නේ ඒ කෙරෙහි පැවති මහත් ඇල්මෙන්, නොසිඳෙන පිපාසයකින් දෙස් විදෙස් සිනමාවත්, සිනමාව ආශ්රිත නව තාක්ෂණයත් හඹා ගිය හෙයිනැයි මම සිතමි. ස්වඅධ්‍යයනය, පරිකල්පනය, සතතාභ්‍යාසය ඔහුගේ ප්‍රතිභාව දියුණු තියුණු කළේය.
ලාංකේය කලා ක්ෂේත්රයට නවීන තාක්ෂණය එබිකම් කරන විට ම, එම දැනුම හඹා ගොස් ඒ හරහා තම නිර්මාණ වපසරිය පුළුල් කරගැනීමේ අපූර්ව හැකියාවක් නිහාල්සිංහයන් සතු විය. මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස 1971 වසරේ “වැලිකතර” චිත්‍රපටය නිර්මාණය වන්නේ එලෙසිනි. චිත්‍රපට ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමුකළ ලාංකේය සිනමාකරුවන් අතර ඩී.බී. නිහාල්සිංහ ද පුරෝගාමී වන්නේය.
ආධාරකයක් මත සවි කළ කැමරාව වෙනුවට මුලින්ම කැමරාව අතට ගෙන චිත්‍රපටයක් රූගත කිරීම සිදු වන්නේ “වැලිකතර” චිත්‍රපටයෙනි. හස්තගත කැමරාව භාවිතයෙන් මුලූමනින් චිත්‍රපටයක් රූගත කිරීම පහසු කටයුත්තක් නොවේ. චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ද, කැමරා අධ්යක්ෂවරයා ද වශයෙන් කටයුතු කරමින් නිහාල්සිංහයන් මේ අසීරු අභියෝගාත්මක කාර්යය ජයගන්නේ වියට්නාම් යුද බිමේ සජීවීව යුද්ධය රූපගත කිරීමෙන් ලද අත්දැකීමෙන් ද විය යුතු ය.
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් විට ඒ පිළිබඳ අවධානය යොමු කරන ඔහු “ටෙලිසිනේ” ආයතනය ආරම්භ කළේය. ටෙලි නාට්‍ය කලාව හා රූපවාහිනිය ආශ්රිත වෙළඳ දැන්වීම් ප්රචාරණයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට නිහාල්සිංහයන්ට හැකිවන්නේ ද නව ප්රවණතාවන් පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කිරීමේ ඔහු සතු සහජ හැකියාව නිසා බව එනයින්ම පැහැදිලි ය. ඔහු විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍යය වන “දිමුතු මුතු” ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ පෙරමඟ ලකුණු කළේය.
ඩී.බී. නිහාල්සිංහයන් හුදෙක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු පමණක් ම නොවේ. ඔහු දක්ෂ කැමරා අධ්යක්ෂවරයෙකි. සංස්කරණ ශිල්පියෙකි. සිරි ගුණසිංහයන්ගේ “සත් සමුදුර” චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂවරයා ද, සංස්කරණ ශිල්පියා ද වන්නේ නිහාල්සිංහයන් ය. 1968 වසරේ හොඳම සංස්කරණ ශිල්පියා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලබන්නේ ද එම චිත්‍රපටය වෙනුවෙනි.
චිත්‍රපට හා රූපවාහිනිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා ලෙස තම දැනුම, ආකල්ප, කුසලතා ලාංකේය සමාජය සමඟ බෙදාහදා ගනිමින් නව පරපුරට මඟ ලකුණක් වූ ආචාර්යවරයෙකි. සිනමා විචාරකයෙකි. 1972 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ පසු එහි ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් ද ඩී.බී. නිහාල්සිංහයන් කටයුතු කළේ ය.
ඩී.බී. නිහාල්සිංහ නම් වූ සිංහල සිනමාවේ යුග පුරුෂයා, අපූර්ව කලාකරුවා, ලේඛකයා, සොඳුරු මිනිසා ලාංකේය භුමිය මත කොතරම් පරිපූර්ණව සිය මෙහෙවර ඉටුකළේ ද යත් ඔහුගේ නික්ම යාමෙන් හිස් වන ඉඩ පිරවීම පහසු නොවේ.
ඔහු ගේ වියෝ වීමෙන් වේදනාවට පත් දයාබර බිරිඳ කළ්‍යාණි නිහාල්සිංහ මහත්මිය, පුතණුවන් ඇතුළු පවුලේ සැමට, ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, ඩී.බී. නිහාල්සිංහ නම් අග්‍රගණ්‍ය කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.