අධිකරණ නිලධාරීන් දේශපාලනයෙන් හා විධායක තීරණවලින් සම්පූර්ණයෙන්ම බැහැර වී සිටිය යුතු බව අවධාරණය කරන විනිසුරුවන්ගේ සංගමය, ජනාධිපතිවරණ දින රාත්රියේ අරලියගහ මැදුරේ සිදු වූ බව කියන කුමන්ත්රණය අවස්ථාවේදී අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එහි සිටීම පිළිබඳව කනස්සල්ල පළකරන බව සඳහන් කරයි.
අධිකරණ සේවා සංගමය හෙවත් විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභාව පසුගියදා රැස්වී ගත් ඒකමතික තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් රංග දිසානායක මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
ඡන්දයෙන් බලයට පත්වූ රජයට එරෙහිව සිදුවූ බව කියන කුමන්ත්රණයට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සම්බන්ධ වූවාද? නැද්ද? යන්න පිළිබඳව තමන් වැඩි අවධානයක් යොමුනොකරන බව සඳහන් කරන විනිසුරුවන්ගේ සංගමය, අධිකරණයේ ගෞරවය හා උත්තරීතරභාවය ආරක්ෂා වන අන්දමට අගවිනිසුරුවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.
ජනාධිපතිවරණයේ ප්රතිඵල පිළිබඳව නොසලකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගැනීම පිළිබඳව අරලියගහ මැදුරේ සිදුවූවා යැයි කියන කුමන්ත්රණයක් පිළිබඳව මෙන්ම එම අවස්ථාවේ අගවිනිසුරු මොහාන් පිරීස් මහතාද එතැන සිටියා යැයි කියන කරුණ සම්බන්ධයෙන් රහස් පොලීසිය කරන පරීක්ෂණය පිළිබඳව තමන් දැඩි අවධානයට ලක්කළ බවද එහි සඳහන් කොට ඇත.