වත්මන් රජය සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම සංශෝධනය කළහොත් රුපියල අවප්‍රමාණය වීම (බාල්දුවීම) නතර කර ගැනීමට හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ අද (19දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
ʻʻ සේවා අංශයට ලැබෙන විනිමය ප්‍රමාණයට වඩා රටින් පිටට යන විනිමය ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. එසේ නොවුනහොත් රුපියල බාල්දුවීම නතර කළ නොහැකි මට්ටමට පත්වනු ඇති.
ඩොලරයක් සඳහා රුපියල් 161.1ක් ගෙවීමට සිදු වීමෙන් ලංකා ඉතිහාසයේ වාර්තා ගත අවප්‍රමාණය වාර්තා වී තිබෙනවා. මෙය ආර්ථීකය කඩාවැටීමක් ලෙස සැලකිය හැකියි. මා මීට වසරකට පෙර මෙම තත්ත්වය රටට පැහැදිලි කර තිබුණා. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සහල්, පිටි, සීනි, කරවල, කිරිපිටි, පරිප්පු, කඩල ඇතුළු පරිභෝජන ද්‍රව්‍ය හා ඛනිජ තෙල්, රසායනික ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, මෝටර් රථ වැනි අනෙකුත් භාණ්ඩවලට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩිවීමෙන් එම භාණ්වල දේශීය මිල ගණන් ඉහළ යනවා. ʼʼ යැයිද පවසා සිටියේය.