තිස්සමහාරාම, යෝධකණ්ඩිය, උද්දකන්දර ප්‍රදේශයේ කාන්තාවක සිය සැමියා ඝාතනය කර නිවසේ වැසිකිළි වළක සඟවා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇති බැවින් ඒ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතා පැවසීය.
පසුගිය පෙබරවාරි මස 16 වැනිදා සිය ස්වාමි පුරුෂයා නිවසින් පිටව ගිය අතර, නැවත නිවසට නොපැමිණි බව පවසමින් පසුගිය මස 18 වැනිදා තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකපිට බිරිඳ අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබිණි.
සැමියා බීමතින් නිවසට පැමිණ උදේ ආහාර ඉල්ලා තමන් සමග ආරවුලක් ඇතිකර ගත් බවත්, ඒ අවස්ථාවේදී තමන් සැමියා තල්ලුකර දැමූ අතර, අසල ටැංකියේ වැදී බිම වැටුණු පසු පහරදී ඝාතනය කර ඔහුගේ සිරුර අලුත කැපූ වැසිකිළි වළට දමා වැසූ බවත් ප්‍රශ්නකිරීම් හමුවේ සැකකාර බිරිඳ පොලීසියට පවසා තිබිණි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වීරසිංහ ආරච්චිගේ ප්‍රියන්ත නෙහොත් මිල්ගොයා (අවු.35) නමැත්තෙකි.