වෙළෙඳපොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර අද (14දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව පැවසීය.
වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පැවසීය.
දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට ජනපතිවරයා මෙහිදී නියම කළේය.
සහල් මෝල් හිමියන් මුහුණදී ඇති ගැටලු සහ සහල් මිල පිළිබඳ පවතින ගැටලුවට ලබාදිය හැකි විසඳුම් පිළිබද යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.
අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන්, පී හැරිසන් යන මහත්වරුද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන්හුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය