මේ වන විට පවතින අර්බුදකාරී අවස්ථාවේදී තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙන බව නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. නව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"අතීතයේ පටන් සිංහළ, දෙමළ, මුස්ලිම් ජනතාව ඉතා සාමකාමීව ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ජීවත් වුණා. කෙසේ වුණත් ඇතැම් අන්තවාදී හා ජාතිවාදී පිරිස් කලක පටන් මේ සාමකාමී වටාපිටාව විනාශ කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කර තිබුණා. එහි දිගුවක් ලෙස වර්තමානයේ රට තුළ උද්ගතව ඇති අසහනකාරී වටාපිටාව නිර්මාණය වී තිබෙනවා.
මම ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි අර්බුදකාරී මොහොතක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය මා හට ලබාදීමට කටයුතු කිරීම ගැන. කාලාන්තරයක් තිස්සේ දේශපාලනයේ නිරත වෙමින් මා ලද අත්දැකීම් පදනම් කොටගෙන මෙම වගකීම් සහගත කාර්යයත් මම ඉටු කරනවා.
මෙහිදී ආගමික නායකයන්ගෙන් වගේම සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලන්නේ අන්තවාදී, ජාතිවාදී සුළුතරයකගේ අවස්ථාවාදී වැඩපිළිවෙළට හසුනොවී වඩා ඉවසිලිවන්තව වගේම කල්පනාකාරීව මේ මොහොතේ කටයුතු කරන්න කියන කාරණය. කොහොම වුණත් මේ තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කිරීමටත්, රට තුළ සාමය ස්ථාපිත කිරීමටත් අවශ්‍ය පියවර ජනාධිපතිතුමත්, අගමැතිතුමත් සමග සාකච්ඡා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා” පවසා සිටියේය.