ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් ගෝලීය දේශගුණික විපර්යාස හා සාගර පරිසර පද්ධතියේ ඇතිවන වෙනස්කම්වලට ඍජුව මුහුණ දෙන බවත්, ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන්ට සාගරයෙන් ජිවිතය මෙන්ම මරණයත් ලැබිය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ සාගර සහ සාගර සම්පත් තිරසාර ලෙස භාවිතය හා සංරක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඊයේ (05දා) ඇමෙරිකාවේදී අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
බුදුන් වහන්සේ පරිසරය හා ස්වභාව සම්පත් රැකගත යුතු ආකාරය පිළිබඳව දේශනා කළ කරුණු පිළිබඳව නවීන ලෝකයට නැවත වරක් සිහිපත් කිරීමට කාලය පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් ගෝලීය දේශගුණික විපර්යාස හා සාගර පරිසර පද්ධතියේ ඇති වන වෙනස්කම්වලට කෙළින්ම මුහුණ දෙනවා. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ස්වාභාවික ව්‍යසන ගණනාවකට මුහුණ දුන්නා. 2004 මහා සුනාමිය, ගංවතුර, නායයාම් සහ වෙනත් ආපදා මේ අතර වනවා.
මා මේ කතා කරන මොහොතේත් මෑත දිනවල ඇද හැළුණු අධික වර්ෂාව නිසා ගංවතුර හටගෙන සිය ගණනක් ජනයා මිය ගොස් ලක්ෂ කිහිපයක් ජනයා පීඩාවට පත්වී සිටිනවා. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන ආපදා සහන පිළිබඳව අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. නමුත් මේ සියල්ලෙන් පෙනී යන්නේ එබඳු ආපදාවලට තනිවම මුහුණදීමට අපට ඇති නොහැකියාවයි.
මගේ රට වැනි රාජ්‍යයන්ට සාගරයෙන් ජීවිතය මෙන්ම මරණයත් ලැබිය හැකියි. ඉන්දියන් සාගරය අපට ආහාර, ජීවනෝපාය, වෙළෙඳ අවස්ථා සහ වෙනත් පහසුකම් සපයා දෙනවා. අපේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වෙරළාසන්නව ජීවත් වනවා. එහෙත් ගෝලීය මුහුදු මට්ටම් ඉහළ යාම, සාගර දූෂණය, මත්ස්‍ය සම්පත් ක්ෂණ වීම ආදී ප්‍රශ්න අපට ඍජුව බලපෑම් ඇති කරනවා.
එසේම දැන් සොයාගෙන ඇත්තේ ලෝකයේ සාගරවල පාවෙන දෙවැනි විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය තිබෙන්නේ ඉන්දියන් සාගරයේ කියාය. සාගර දූෂණය අවම කිරීම සහ අනාගතයේදී තිරසාර ලෙස සාගර සම්පත් පරිහරණය කිරීම අප හමුවේ තිබෙන විශාල අභියෝගයන් වෙනවා” යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.