ඇමෙරිකාවේ මහා පරිමාණ බුද්ධි මෙහෙයුම් ලෝකයට හෙළිකළ හිටපු ඔත්තු සේවා නිලධාරී එඩ්වඩ් ස්නොව්ඩන්ට හොංකොං හිදී නවාතැන් පහසුකම් ලබාදීම මූලික කරගෙන තමන් පසුපස මෙරට බුද්ධි අංශ ලුහුබඳින බව හොංකොහි ශ්‍රී ලාංකේය සරණාගතයන් දෙදෙනෙකු බියෙන් පසුවන්නේ යැයි බී.බී.සී.ය කියයි.
ඔවුන්ගේ නීතීඥවරු බී.බී.සී.යට පවසා ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං වෙත පැමිණ මොවුන් පිළිබඳ සොයා ඇති බවට විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත්, මෙම හෙළිදරව්ව ශ්‍රී ලංකා පොලීසිය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද එම පුවතේ දැක්වෙයි.
චීනයේ හෝ වෙනත් රටක නීති බලාත්මක කිරීමේ නිලධාරීන්ට හොංකොං රාජ්‍ය තුළ අධිකරණ බලයක් නොමැති බවද සඳහන් වෙයි.
මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොබට් ටිබ්බෝ පවසන්නේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුවත් පසුගිය දෙසැම්බරයේදී සිය සේවාදායකයන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමට හොංකොං වෙත පැමිණ ඇති බවට විශ්වාස කරන බවයි.
බී.බී.සී. සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී මෙම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් ලෙස හෙතෙම බැහැර කර ඇති බවද එම පුවතේ වැඩිදුරටත් දැක්වෙයි.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය සතු දත්ත සහිත ලිපිගොනු දහස් ගණනක් හෙළි කරමින් 2013 ජූනි මාසයේදී ස්නොව්ඩන් ඇමෙරිකාවෙන් පැනගොස් හොංකොං වෙත පැමිණීමත් සමග සති දෙකක කාලයක් සිය සේවාදායකයන් දෙදෙනා (ශ්‍රී ලාංකිකයන්) ස්නොව්ඩන්ට සති දෙකක කාලයක් ආහාර හා නවාතැන් පහසුකම් ලබාදී ඇති බව නීතීඥ ටිබ්බෝ පවසයි.
ඉන් අනතුරුව හිටපු ඔත්තු සේවා නිලධාරියා හොංකොං සිට රුසියාවේ මොස්කව් වෙත සංක්‍රමණය විණි.
කේ. සුපුන් තිලිණ හා ඩී. අජිත් පුෂ්ප කුමාර ලෙස සඳහන් වන මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ නම් ස්නොව්ඩන් නමින් නිර්මාණය වූ නවතම චිත්‍රපටයත් සමග පසුගිය වසරේදී ලොවට හෙළි වූ බවත්, ඒ සමගම ශ්‍රී ලංකා රජය මෙම සරණාගතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බව තමා විශ්වාස කරන බවත් නීතීඥ ටිබ්බෝ බී.බී.සී.ය වෙත පවසා තිබේ.
2005 වසරේදී හොංකොං වෙත පැමිණ ඇති සුපුන් තිලිණ බී.බී.සි.ය වෙත පවසා අත්තේ තමා මෙම සිදුවීමත් සමග බියට පත්ව සිටින බවයි. එමෙන්ම, තමාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද හෙතෙම පවසා තිබේ.
අනෙක් ශ්‍රී ලාංකිකයා වන කුමාර හමුදාවෙන් පැනගොස් හොංකොං වෙත පැමිණි අයෙකු බවත් ඔහු 2013 දී ස්නොව්ඩන්ගේ නිල නොවන පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් වන අතර, මෙම සිදුවීමත් සමග ඔහුද තම ආරක්ෂාව සම්බන්ධයෙන් කණස්සල්ලෙන් පසුවන බව බී.බී.සී.ය කියයි.