ඉදිරි වර්ෂයේදී වී ගොවියාත් පාරිභෝගිකයාත් අපහසු තාවයට පත් නොකොට නිසි ක්‍රමවේදයක් යටතේ වී මිලදී ගැනීම හා සහල් වෙළදපොල මිල මට්ටම තීරණය කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම තම අපේක්ෂාව බවද ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩර් කැදවීමෙන් පෞද්ගලික අංශයට වී නිකුත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබද සතුටට පත්වන බවඳ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වුයේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙවර එක් පුද්ගලයෙකු ටෙන්ඩර් මගින් වී තොග මෙට්‍රික්ටොන් 60,000ක් -70,000 ක් වගේ තොග ඉල්ලලා තිබෙනවා. නමුත් රජය යටතේ මේ වී තොග නිකුත් කිරීම සමසේ බෙදී යා යුතුයි.පෞද්ගලික වී මෝල් හිමියන් කිහිප දෙනෙකු අතර මේ වී හුවමාරුවීම නැවැත්විය යුතුයි. ඒ නිසා එක් අයකුට වී මෙට්‍රික්ටොන් 10,000 ක් බැගින් නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.
පහුගිය කාලයේ ආහාර දෙපාර්තමේන්තුව හා සතොසට සහල් ලබා දීම සදහා වී කෙටීමට වී මෝල් හිමියන්ට දීම නිසා අපිට රුපියල් මිලියන 65ක පමණ පාඩුවක් සිදුවී තිබෙනවා. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහල් අපනයනය කිරීම නිසා රුපියල් මිලියන 198 ක පමණ පාඩුවක් වී තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට නිසි ක්‍රම වේදයක් අනුව වී තොග විකිණීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.