ඇතුල්කෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසල රැඳී සිටි සරසවි යොවුන් පෙරමුණේ නිලධාරියෙකු වැලිකඩ පොලිසීය රඳවාගෙන සිටි අවස්ථාවේ, ඔහු බැලීමට ගිය තවත් නිලධාරීන් දෙදෙනෙකුට පොලීසියේදී පහරදීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.
ඊයේ (28දා) සවස් කාලයේ සිට මෙම සිදුවීම දිගහැරී ඇති අතර, ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලය අසලට පොලිස් වෑන් රථයකින් පැමිණි පොලිසියේ ඉහළ නිලධාරියෙකු ප්රමුඛ නිලධාරීන් පිරිසක් ඒ අසල සිටි සරසවි යොවුන් පෙරමුණේ පිරිසට පරුෂ වචනයෙන් පවා බැන වදිමින්, දොඹකරයක් ආධාරයෙන් සවිකර තිබූ 'කටවුට්' එකක් වහාම ගලවා ඉවත් කරන ලෙස අණකර තිබේ. කෙසේ වෙතත් ඉන් පැය භාගයකට පමණ පසු නැවත පැමිණි පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයේ රැඳී සිටි සරසවි යොවුන් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් තිලිණ සංජය විජේසිංහ නමැත්තාව බෙල්ලෙන් ඇද පොලිස් වාහනයේ නංවාගෙන රැගෙන ගිය බව ජාතික යොවුන් පෙරමුණ පවසයි.
මින් අනතුරුව, ඔහු බැලීමට වැලිකඩ පොලීසියට ගිය සරසවි යොවුන් පෙරමුණේ නිලධාරීන් දෙදෙනෙකුටද පොලිස් නිලධාරීන් විසින් බැණ වදිමින් පහරදීමක් සිදුකර ඇති බව පැවසේ. එසේ පහරකෑමට ලක්වූවන් අතර, සරසවි යොවුන් පෙරමුණේ ලේකම් චාමර හේරත් සහ සරසවි යොවුන් පෙරමුණේ ප්‍රධාන සම්බන්ධීකාරක රවී හර්ෂණ යන අය සිටි බවද පෙන්වා දෙයි.
මේ අතර, පොලීසියේ රඳවාගෙන සිටි තිලිණ සංජය විජේසිංහ ඊයේ (28දා) රාත්‍රියේදීම පොලීසියෙන් එවා ඇති බවද වාර්තා වෙයි.