සයිටම් ආයතනය අහෝසි කළ නොහැකි බවත් එය අහෝසි නොකරන බවත් රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධව කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තුවට විසඳුමක් ලබාදිය නොහැකි බැවින්, ඔක්තෝම්බර් මාසයෙන් පසුව තීන්දුවක් ලබා දිය හැකි බව ඇමතිවරයා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීම සඳහා රජය කිසිදු වැඩපිළිවෙළක් දියත් කර නැති බවත්, නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ සිසුන්ට දඬුවමක් ලබාදීමක් පමණක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.දේශපාලන අරමුණු පදනම් කරගෙන ක්‍රියාකාරකම්වල යෙදෙන සිසුන් අතලොස්සකගේ මෙහෙයවීම මත සිදුවන සමහර ක්‍රියා හේතුවෙන් බහුතරයකගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණ තිබෙන බවත්, සිසුන් වරදක් කර නැතැයි ඔප්පු වුවහොත් අදාළ ආයතන මගින් සිසුන් නිදහස් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සිසුන්ගේ මවුපියන් බියවැද්දවීමට රජය කටයුතු කර නැති බවත්, සමහර දේශපාලන කණ්ඩායම්වල සිසුන් විසින් අනෙකුත් සිසුන් බියවද්දවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු පැවසීය.සිසුන්ට එරෙහිව පන්ති තහනම් කිරීම් සම්බන්ධව කටයුතු කිරීමට විශ්ව විද්‍යාලවල සනාතන සභා හා පාලක සභාවලට බලය තිබෙන බවත්, විශ්වවිද්‍යාල සිසුන් බාහිර දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස එවැනි කටයුතුවල යෙදෙන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
"ළමයි විශ්වවිද්‍යාලයේ යන්නේ ඉගෙන ගන්න. එක්සත් ජාතික පක්ෂයට සමිති නැහැ. අපි හදන්න උත්සාහ ගත්තෙත් නෑ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් නෑ. පාර්ලිමේන්තුවටත් එන්න බැරි පක්ෂ විශ්වවිද්‍යාලයට ගිහින් වෘත්තිය සමිති හදාගෙන. ඒ පක්ෂවලට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂත් අනුබල දෙනවා.
පසුගියදා පැවති විරෝධතා ව්‍යාපාරයට බස් 50 ක් ඇරියා එක්තරා දේශපාලන පක්ෂයක්. ඒක අපි හෙළිදරවු කරන්නම්. විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය හැම දෙයක්ම දීලා තියෙන්නේ. ආයෙත් දෙන්න දෙයක් නැහැ. දැන් අනවශ්‍ය ප්‍රශ්න බදාගෙන විරෝධතා ව්‍යාපාර ගෙනියන්නේ.
සයිටම් එක ආපස්සට හරවන්න පුලුවන්ද? දීපු දෙයක් ගන්න පුලුවන්ද? සයිටම් උපාධිය පසුගිය ආණ්ඩුව කාලේ පිළිඅරන් තිබුණේ. ඒක අපිට අවලංගු කරන්න පුලුවන්ද? ඇයි පසුගිය ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කෙරුවේ. සයිටම් එක අපිට අහෝසි කරන්න බෑ. ඒක අපි කරන්නෙත් නෑ. එය පසුගිය ආණ්ඩුව කාලේ පටන් ගත්තේ. අපේ ආණ්ඩුව කාලේ පළමු වතාවට අවසාන විභාගය පාස්වෙලා ශිෂ්‍ය‘යෝ පිටත් වුණේ. ඉතිං අපිට ඒක අහෝසි කරන්න බෑ. මේක අහෝසි කළොත් අපිට උසාවි යන්න වෙනවා.
උසාවිය කියාවි මේක අහෝසි කරන්න බෑ කියලා. ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් මම ඉල්ලන්නේ සයිටම් ප්රශ්නය විසඳන්න දැන්වත් අපිට උදවු කරන්න කියලයි. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වීම අපේ රජයේ ප්රතිපත්තියයි. අපි මේ විශ්වවිද්‍යාලයට එයට පරිවර්තනය කරමු. ඒක තමයි රටට හොඳ. සයිටම් එක කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ආණ්ඩුව. ශිෂ්‍ය‘යෝ නොවෙයි. පසුගිය ආණ්ඩුව සයිටම් එක ආරම්භ කරන්න ඕන කියලා තීන්දු කෙරුවා. ඒක අපි පිළිගන්නවා.
පාර්ලිමේන්තුවට මේකට විසඳුමක් දෙන්න බැරි නිසා, මේක දැන් අධිකරණයට ගිහින් තිබෙනවා. සයිටම් එකේ උපාධිය ලබාගත් ශිෂ්‍ය‘යෙක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලුවා. වෛද්‍ය සභාව කිව්වා ලියාපදිංචිය දෙන්න බෑ කියලා. එම ශිෂ්‍යයා උසාවියට ගියා. ඔක්තෝම්බර් මාසයේ නඩුව අවසන් වෙනවා. අපි ඒ තීන්දුව එනකම් ඉමු" යනුවෙන් පවසා සිටියේය.