සමෘද්ධිලාභීන් විසින් මාසිකව සිදුකරනු ලබන අනිවාර්ය ඉතිරිකිරීම් වෙනුවෙන් පවත්වාගෙන යන අධිකාරී ගිණුමේ තැන්පත්ව තිබෙන අධිකාරිය වෙත ලද මුළු වටිනාකම සහ ගිණුමේ තැන්පත් වී තිබෙන මුදල් අතර රුපියල් මිලියන 1,174 ක හිඟයක් ඇති වී ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
දැනට නිකුත් කර තිබෙන විගණන වාර්තාවට අනුවත් මේ පිළිබඳව පෙන්වාදී තිබෙන බවත්, විගණන වාර්තාවට අනුව 2013/12/31 දින වනවිට අධිකාරිය වෙත ලද මුළු මුදල රුපියල් මිලියන 14,026 ක් බවට සඳහන් වී තිබෙන බවත් එම සංගමයේ ප්රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේය.
එහෙත් ගිණුමේ තැන්පත් වී තිබෙන්නේ රුපියල් මිලියන 12,851 ක් ලෙස පෙන්වා දී තිබෙන බවත්, ඉතිරි මුදලට සිදුවූ දෙයක් පිළිබඳව කිසිදු සඳහනක් සඳහනක් නැතැයිද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා සමෘද්ධිලාභීන්ට හිමි රුපියල් මිලියන 1,174 ට සිදුවූ දෙයක් මෙතෙක් සොයාගැනීමට නොහැකිවී තිබෙන බවද සඳහන් කළේය.
මෙම ගිණුම සකස් වී තිබෙන්නේ රුපියල් 1500 ක් හිමිවන රුපියල් 1500 ක මුදලින් රුපියල් 300 ක් සහ රුපියල් 1200 ක දීමනාවෙන් රුපියල් 200 ක මුදලක් අයකර ගැනීමෙන් බවත්, එහි ප්රතිලාභ හිමිවන්නේ සමෘද්ධිලාභීන්ට වසර 70 ක් සම්පූර්ණ වූ පසුව බවත් ප්රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.
එහෙත් මෙතරම් මුදලක් අහිමිවීම තුළ සේවකයන්ට ප්රතිලාභ ලබාදීමේදී විශාල ගැටලු ප්රමාණයකට මුහුණදීමට සිදුවන බවත්, මේනිසා වහාම මෙම මුදල් පිළිබඳව පරීක්ෂණයක් සිදුකර වංචා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර වංචා මුදල නැවත ලබාදෙන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.