ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ටෙලි නාට්‍ය නිර්මාණයක් සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඉදිකළ පසුතල, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගැනීමට එම නිෂ්පාදන කණ්ඩායම ඊයේ (22දා) පියවර ගත්තේය.
මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතා සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් හමුවේ මෙය සිදුකෙරිණ.
ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ 'සීගිරි කාශ්‍යප’ ටෙලි නාට්‍යයේ කාශ්‍යප රජුගේ මාලිගයේ පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මළුවේ පසුතල නිර්මාණ සැකසීම මීට දින කිහිපයකට උඩදී ආරම්භ කර තිබුණි. එම පසුතල නිර්මාණ නිසා සබරගමු මහ සමන් දේවාලයේ ඓතිහාසිකත්වයට මෙන්ම ජනතාවගේ ගෞරවනීය බවට විශාල හානියක් සිදුවන බව දේවාලයේ රාජකාරී කපු මහත්වරුන්ගේද, වෙනත් රාජකාරීකරුවන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද අදහස විය.
සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානය පසුබිම් කරගෙන ටෙලි නාට්‍යයක් රූගත කිරිමට අවසර ගෙන නැති බවයි.
මේ තත්ත්වය හමුවේ රාජකාරීකරුවන් සහ ප්‍රදේශවාසීන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා හමුවේ මේ ගැටලුව ඉදිරිපත් කළේය. ඒ අනුව චිත්‍රපටි නිෂ්පාදකයන්, බස්නායක නිලමේවරයා සහ විජේතුංග මන්ත්‍රීවරයා ඇතුළු නියෝජිතයෝද, පුරාවිද්‍යා නිලධාරීහූද ඊයේ (22දා) රත්නපුර මහ සමන් දේවාලයේදී සුහද සාකච්ඡාවක් පැවැත්වීය.
' සමන් දේවාලේ කැටලියන්පල්ලේ කපුමහතා ඇතුළු කණ්ඩායමත්, ගමේ අයත් දේවාල භූමියේ තැනූ පසුතල නිර්මාණ නිසා සමන් දේවාලයේ පෞරාණික බවට, පූජනීය බවට හානියක් වෙලා තියනවා කියන කාරණය දිගින් දිගටම මට පෙන්වා දුන්නා. ලක්ෂ ගණනක් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක් මේ ආකාරයට විකෘති කිරීමට ඒ අය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව පැවසුවා. පසුතල ඉවත් කරලා රූගත කිරීමකට ඒ අය විරුද්ධ නෑ. නමුත් ඒ අය සමන් දේවාලයේ අනන්‍යතාව නැතිවන ආකාරයේ පසුතල නිර්මාණයක් යොදා ගැනීම පිළිබඳව බලවත් විරෝධය පළ කළා. මම ඒ සාකච්ඡාවේදී නිල පංගුකරුවන්ගේ සහ ගම්වාසීන්ගේ විරෝධය ඒ අයට දැනුම් දුන්නා. මම කළේ මැදිහත්කරුවෙකුගේ භූමිකාව පමණයි' යනුවෙන් ඒ.ඒ. විජේතුංග මන්ත්‍රීවරයා පැවසුවේය.
‘'සමන් දේවාලයේ පහළ මළුවට ඇතුළු වන ස්ථානයේ වාහල්කඩ වැසෙන ආකාරයේ වෙනත් පසුතල නිර්මාණ කරලා තිබුණා. ඒවාගේ දේවල් වලින් මහ සමන් දේවාලයේ අභිමානය නැතිවන බව ජනතාවගේ අදහස වුණා. පස්සෙ සාකච්ඡා වලදී පසුතල ඉදිකිරීම් ඉවත් කරගන්න ඒ අය කැමති වුණා. අවශ්‍ය නම් ගඟ පැත්තෙන් අවශ්‍ය රූගත කිරීම් කරගන්නවාට විරෝධයක් නැති බවත් දැනුම් දුන්නා. කිසිම ගැටුමකින්, මත භේදයකින් තොරව සාමයෙන් එකඟත්වයෙන් ප්රශ්නය විසඳුණා' යනුවෙන් විජේතුංග මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙම සාකච්ඡාවට ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු සිනමා නිෂ්පාදක කණ්ඩායමද, රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂ්මන් මුණසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.
අජිත්ලාල් ශාන්තඋදය