ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකගේද සහාය ඇතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ රැසක් එළඹෙන පළාත් පාලන මැතිවරණයට නව පෙරමුණකින් තරග කිරීමට තීරණය කර ඇත.
මේ පිළිබඳව සාකච්ඡාවක් පෙරේදා (18දා) පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ නිවසේදී පැවැත්වී ඇති අතර, එහිදී මෙසේ තනිව තරග කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹ ඇත.
මෙම සාකච්ඡාව සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අයද සහභාගී වී ඇත.
මෙකී පෙරමුණට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද සහාය දීමට තීරණය කර ඇත.
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ අවදානමක් මතුව ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති අතර, අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට එහි වගකීම පවරා ඇත.
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත.