එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ පක්ෂවලට තනි තනිවම හෝ පක්ෂ කිහිපයක් එකතුව තමන් දරන දේශපාලන මතය ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම හෝ බුලත් කොළය ලකුණ යටතේ එම කණ්ඩායම්වලට පමණක් මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පක්ෂ 14 ක් තරග කළ අතර එහි බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබෙන බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මෙතෙක් කටයුතු කළ කිසිදු පක්ෂයක් ඉවත් වී කටයුතු කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවද පවසා සිටියේය.
මේ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම කණ්ඩායම් එකතු වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගන්නා බැවින් පක්ෂ වශයෙන් තමන්ගේ දේශපාලන මතය තනි තනිවම හෝ කණ්ඩායමක් වශයෙන් ප්‍රකාශ කළත් එය සන්ධානයට කිසිදු බාධාවක් නොමැති බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
මෙම මස 18 වැනිදා නුගේගොඩදී පක්ෂ කිහිපයක් එක්ව සිදුකරන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවත්, එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස් එම ස්ථානයට ගියා කියා සන්ධානයට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ සියලුමදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් තිබෙන බවත්, මේ යටතේ ඉදිරි දිනවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමත් සිදුකරන බව ජාතික සංවිධායකවරයා කියා සිටියේය.
පක්ෂ කිහිපයක් එක්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා කර තිබෙන බවද, පක්ෂ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද පවසා සිටියේය.
එහෙත් හිටපු ජනාධිපතිතුමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් ෙවනවාද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවත්, ඔහු මෙතෙක් ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදා හැර නොයන බව පමණක් බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.