එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව යෑමට අවශ්‍ය නම් ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්ථාව තිබෙන බව එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෙන්ව යෑමට අවශ්‍ය යැයි සඳහන් කරමින් යම් පාර්ශ්වයක් තමාට ලිපියක් එවා තිබුණහොත් හැරෙන තැපෑලෙන් ඒ සඳහා පිළිතුරු ලිපියක් යැවීමට තමන් සූදානම් බවත්, ජාතික නිදහසේ පෙරමුණ විසින් තමාට එවා ඇති ලිපිය අසම්පූර්ණ එකක් බවත් අමරවීර මහතා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා,
''ජාතික නිදහස් පෙරමුණට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගිවිසුමක් නැහැ. ඒනිසා ඒ අය සන්ධානයේ පක්ෂයක් නෙමෙයි. අපි මේ අය සමග සන්ධානයේ මන්ත්‍රීවරු විදිහට කටයුතු කළා. ඒ නිසා අපි එතුමාලට දැනුම් දෙනවා අයින් වෙන්න කැමැති කට්ටියට අපිට ලිපියන් එවන්න හැරෙන තැපෑලෙන් අපි ලිපියක් යවනවා. ජාතික නිදහස් පෙරමුණ අපට යොමුකළ ලිපිය සම්පූර්ණ නැහැ. පහක් ඉන්නවා කියනවා, හයක් ඉන්නවා කියනවා. එවැනි ලියුම් ඉදිරිපත් කරන්න කැමැති නැති අයත් ඉන්නවා. කැමැති කට්ටියත් ඉන්නවා. ඒනිසා හෙට වුණත් කමක් නැහැ මට ලියුමක් දුන්ණොත් අනිද්දා වෙනකොට ලියුම යවන්න මම කටයුතු කරනවා.
අපි කැමති නැහැ කවුරුවත් බලෙන් තියාගන්න. බලෙන් රඳවාගන්න අවශ්‍යතාවක් නැහැ. වෙන්වෙලා යන්න ඕනෙනම් ඒ සඳහා අවස්ථාව දෙන්නම්. මේ අය සන්ධානයෙන් ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින්. ඒක අමතක කරන්න හොඳ නැහැ. ලක්ෂ ගණන් ඡන්ද ගන්නෙ ඒ පක්ෂවල ඡන්දවලින්ද? නැහැ. ඒ හැමෝම ලක්ෂ ගණන් අරගෙන පාර්ලිමේන්තුවට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ ඡන්දවලින්. ඒ නිසා සන්ධානයක් විදිහට අපි පක්ෂ‘යේ ව්‍යවස්ථාව අනුව තමයි කටයුතු කරන්නෙ'' යනුවෙන් පවසා සිටියේය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ සම්බන්ධයෙන් තීරණය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්කරන බවට කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ බැවින් විමල් වීරවංශ මහතා මෙම කරුණු කරු ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.
එහිදී අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා සඳහන් කළේ, ඊයේ සවස පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බවත්, එහිදී තීරණයක් ගෙන අද (08දා) දින සභාවට දැනුම් දෙන බවත්ය.