එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් අද (31දා) පෙරවරු 9.00ට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිකරගත් ජාතික ආණ්ඩුව සම්බන්ධවත්, ඇමති ධුර බෙදාගැනීම පිළිබඳවත්, පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේද යන්න ගැනත් විපක්ෂනායක ධුරය පත්කිරීම ඇතුළු දැනට මතුව ඇති දේශපාලන කාරණා පිළිබඳවත් එහිදී එම පක්ෂ නායකයන්ගේ අදහස් විමසීමට නියමිත බව වාර්තා වෙයි.
පෙරේදා (29දා) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම රැස්වීම පිළිබඳව පක්ෂ නාකයන්ට දැනුම්දීමක් කර ඇත. ඊයේ (30දා) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව සඳහන් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන සහ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ටද මෙම සාකච්ඡාවට සහභාගි වන්නැයි දැනුම්දීම් කර තිබුණු බවයි. එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් ගැන එහිදී ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කර සිටින බව කී වීරවංශ මහතා එම හවුල් ආණ්ඩුවට තමන් සම්බන්ධ නොවන බවද අවධාරණය කර සිටියේය.