සන්ධාන හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා මාතර ආසනයේ හිටපු සංවිධායක සනත් ජයසූරිය මහතා අද (11දා) එක්සත් ජාතික පක්ෂයට එක්විය.
මාතර අපේක්ෂක සාගල රත්නායක මහතාගේ මාතර පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සනත් මෙසේ එජාපයට එක්විය.
තමන් දේශපාලනයේදී සැමවිටම හරි දේ කළ බවත්, හරි දේ කරන්නට බැරි නම් එතැනින් ඉවත්වන බවත් ඒ මහතා කියා සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය මහතා,
“විශේෂයෙන්ම කියන්න ඕන මට සාගල රත්නායක අපේක්ෂකතුමාට සහ එ.ජා.ප.යට සහයෝගය දෙන්න ලැබුණ එක හොඳ දෙයක්. මම හැමදාමත් දේශපාලනයේදී හරි දෙයක් තමයි කළේ. හරි දේ කරන්න බැරි නම් එහෙම නොකර සිටිනවා. අපට ජනතාව රවට්ටන්න ඕනෙ නෑ. ඊට වැඩිය හොඳයි මෙතනින් ඉවත්වෙනව කියලයි මම අයින් වුණේ. මම හිටිය අවුරුදු 05 දී කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් ඒ ඒ තැන්වලට දන්වල තියෙනවා.
මම කොයි වෙලාවකවත් කිසිම වරදක්, කාටවත් කරල නැහැ. අද මුළු ලංකාවෙම අය බලන් ඉන්නෙ හොඳ දේශපාලඥයන් පාර්ලිමේන්තුවට යවන්න. සාගල රත්නායකත් එවැනි කෙනෙක්. ඒකයි මම එතුමා වෙනුවෙන් කැපවෙන්න ඕන කියලා තීරණය කළේ. විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන මාතරින් මාව ප්‍රථම ස්ථානයට ගෙනාපු මාතර දිස්ත්‍රික්කයේ ජනතාව කිසිසේත්ම ආපස්සට තල්ලු කරල දාලා කොයි වෙලාවකවත් මම ගියේ නෑ. මම හැමවෙලේම කිව්වෙ යමක් කරන්න බැරි නම් එතන ඉන්න බෑ කියලා.
අපි ජනතාව බොරුවට රවට්ටලා ඡන්දෙ අරන් වැඩක් නැහැ. මගේ මව මීට පෙර එ.ජා.ප.යට සම්බන්ධ වුණා. අද මමත් ආවා. මම ජනතාවගෙන් ඉල්ලන්නෙ හොඳ අය පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න කියලයි" යනුවෙන් කියා සිටියේය.
මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි/ මහේෂ් මලවරආරච්චි