ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගත් තීන්දු අනුව සතොස භාණ්ඩ වර්ග 25ක මිල අඩුකර තිබීම හිඟන්නන්ට පවුඩර් දැමීම වැනි කාර්යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (01දා) පැවසීය.
භාණ්ඩ මිල ඉහළ ගොස් නිර්මාණය වී ඇති අර්බුදයට මෙවැනි විසඳුම්වලින් පිළිතුරු සෙවිය නොහැකි බවත්,රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට විශේෂ මැදිහත්වීමක් නොවුනහොත් මෙම ප්රශ්නය ඉදිරි අවුරුදුවලදී තවත් උග්‍ර විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“වෙසක්, පොසොන් වගේ දිනවල සමහර සැදැහැවතුන් මහමඟ සිඟමන් යදින සිඟන්නන් අරන් ගිහින් හොඳට කන්න බොන්න දීලා , නාවලා අන්දලා ඇඳුනුත් දීලා පවුඩර් ටිකකුත් දාලා පිටත් කරලා යවනවා.හිඟන්නන්ට පවුඩර් දැම්මට හිඟනකමේ ප්රශ්නය විසඳෙන්නේ නැතිවා වගේ තමයි පැලැස්තරවාදී විසඳුම්වලින් , ව්‍යාජය, බොරුව නතර කරලා මේ සඳහා අයවැය ලේඛනයකින් විශේෂ මැදිහත්වීමක් සිදුකළ යුතුයි’’යනුවෙන් පවසා සිටියේය.