මේ වනවිට මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව විසිතුරු මත්ස්‍ය වගාව පුළුල් අන්දමින් සිදු කෙරන බැවින් එම මිරිදිය විසිතුරු මසුන්ට අවශ්‍ය ආහාරයක් වන සත්ත්ව ප්ලවාංග වගාව සඳහා ජීවි ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊයේ (25දා) මෙම අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති අතර, ඊට සහභාගි වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ මේ සඳහා කැමැත්ත පළ කරන ධීවර පවුල්වලට මෙන්ම වෙනත් බාහිර පුද්ගලයින්ට ඊට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
විසිතුරු මත්ස්‍ය ආහාර වශයෙන් යොදාගන්නා සත්ත්ව ප්ලවාංගයක් වන ඩැෆ්නියා (Daphnia) නමැති ජීවි ආහාර විශේෂය වගා කිරීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් කටයුතු යොදා තිබෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන්නන්ට නිෂ්පාදන වියදමෙන් 50% ක මුදලක් ආධාර වශයෙන් ලබාදීමට එම අධිකාරිය කටයුතු යොදා ඇත. ඉතිරි 50% පාර්ශ්වකරුවන් විසින් දැරිය යුතුය.
ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සහ ජලජීවී වගාවේ සංවර්ධනය සඳහා මෙම පියවර ගෙන ඇති අතර, විශේෂයෙන් අපනයන ආදායම වැඩි කිරීමටත්, විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහාත් මෙම සත්ත්ව ප්ලවාංග නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.
2017 වසරේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල අපනයන ආදායමක් උපයා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට හැකි විය. ඒ අනුව උපයා ගන්නා ලද මුදල රුපියල් මිලියන 1678 කි. 2018 වසරේ මීට වඩා අපනයන ආදායමක් ලබාගැනීමට නම් මෙම කර්මාන්තය දිරිගැන්වීමේ ව්‍යාපෘති ආරම්භ කරන්නැයිද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.