මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ තීන්දුවට එරෙහිව අද (21දා) පාර්ලිමේන්තු වට රවුමෙන් ඇරඹු ජනතා උද්ඝෝෂණය නතර කරන්නේ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමෙන් අනතුරුව යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති හිටපු අමාත්‍ය පියසිරි විජේනායක මහතා පවසයි.
"අද පාර්ලිමේන්තුවේ ප්රගතිශිලී මන්ත්‍රීවරු සියලු දෙනා උද්ඝෝෂණයක නිරතව සිටිනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් අල්ලස් කොමිසමට කැඳවීමේ නියෝගයට එරෙහිව. අපි ඡන්දය දිලා පත් කරපු ඒ මන්ත්‍රීවරු පිරිස අපි තනි කරන්නේ නැහැ. අපි අද ආරම්භ කරපු මේ උද්ඝෝෂණය නතර කරන්නේ වංචාකාරී, ප්‍රෝඩාකාරී යහපාලන ආණ්ඩුව ගෙදර යවලයි.
පොලිසියේ මහත්තුරු කියනවා ‘මෙතැන අධි ආරක්ෂිත කලාපයක්’ කියලා. නමුත් යහපාලන ආණ්ඩුවේ පොලීසිය භාර ඇමති ජෝන් අමරතුංග කියා තිබෙනවා ‘දැන් ලංකාවේ අධිආරක්ෂිත කලාප නැහැ’ කියලා. අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝග ගෙනවිල්ලා මේ රටේ ජනතාවගේ ඉදිරි ගමන නවත්වන්න ඉඩ දෙන්න බැහැ. "යැයි හෙතෙම සඳහන් කළේය.