අහිංසක මිනිසුන් මරාදමන විකෘති මානසිකත්වයෙන් යුතු හමුදාවක් ශ්‍රීලංකාවේ නොමැති බවත්,කිසිවෙකු හෝ අපරාධයක් කර ඇත්නම් ඒ ඉහළින් පැමිණි නියෝගයක් හේතුවෙන් වියහැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
හමුදාවේ ඇතැම් පිරිස් වේවා ආණ්ඩුවේ ඇතැම් පිරිස් වේවා රටේ කීර්ති නාමයට කැළැලක් වන ලෙස යම් අපරාධයක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම් හිමිවිය යුතු බවත් මෙම සිදුවීම් පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීමේ වැදගත්බවත් අමාත්‍යවරා පැහැදිලි කළේය. එලෙස නිසි පරීක්ෂණයක් සිදුකොට වගකිව යුත්තන්ට දඬුවම් කළ යුතු බව සමරවීර මහතා අවධාරණය කළේය.
කහට පැල්ලම් කීපයක් හේතුවෙන් සමස්ත හමුදාවේ කීර්ති නාමය පළුදුවීමට ඉඩ තැබිය නොහැකි බවත් අමාතවරා පැවසූයේ පසුගියදා නිමාවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරයට සහභාගිවීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා අද(06)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එමෙන්ම රටේ සංහිඳියාව, සංවර්ධනය අත් කර ගැනීමටත් ,නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ලබන ජනවාරියේ සිට නිල වශයෙන් ඇරැඹෙන බවද අමාත්‍යවරයා එහිදී කීවේය.