පාකිස්තාන සුපර් ලීග විස්සයි20 තරගාවලියේ අවසන් අදියර මේ වන විට මැදපෙරදිගදී ක්‍රියාත්මක වෙමින් තිබේ. එහි අවසන් මහා තරගය අද (05දා) පේෂාවර් සැල්මි කණ්ඩායම හා ක්යෙට්ටා ග්ලැඩියේටරස් කණ්ඩායම අතර ලාහෝරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ අවසන් මහ තරගය පාකිස්තානයේ පැවැත්වෙන බවට තරග සංවිධායකයන් පැවසීමත් සමග කරච්චි කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ක්‍රිස් ගේල් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් පැවසුවේ තමන් අවසන් මහ තරගයට එක්වීමට පාකිස්තානයට නොයන බවයි. කරච්චි කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.
කෙසේ වෙතත් අවසන් මහා තරගයේ නිලධාරීන් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු ජාත්‍යන්තර තරග තීරකයෙකු වන රොෂාන් මහානාම හා තරග විනිසුරුවරයෙකු වන රැන්මෝ මාටිනෙස් මහත්වරු පාකිස්තානයට ගොස් තිබේ.
රොෂාන් මහානාම හා සම්බන්ධ වී ඇති පාකිස්තාන ව්‍යාපාරිකයෙකු මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු වන අලි නවක්වී පවසන්නේ කෘතගුණ සැලකීමක් වශයෙන් මහානාම පාකිස්තානයට පැමිණෙන බව සඳහන් කළ බවයි.
එහිදී ඔහු සිය ට්විටර් ගිණුමට එක්කර තිබූ සටහන මෙසේය.
“රොෂාන් මහානාමගෙන් ඉතාමත් අලංකාර කතාවක් ඇහුවා. 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදුවුණා. එහිදී පාකිස්තානය හා ඉන්දියාව හැර අනෙක් සියලුම රටවල් ලංකාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ශ්‍රී ලංකාව හුදෙකලා වූයේ නැහැ. රොෂාන් කියන්නේ මේ එයට කලගුණ දක්වන අවස්ථාව කියලයි.”
2009 වසරේදී පාකිස්තානය සංචාරයක නිරතවෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තරංග පරණවිතාන, තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් තුවාල ලැබූහ.
ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ප්‍රධාන කණ්ඩායම් කිසිවක් පාකිස්තානයේ සංචාරය නොකළේය.
ලාහෝරයේ පැවැත්වෙන අවසන් තරගයට සංගා හා මහේල එක් නොවීම පිළිබඳව කිසිවෙකුට විවේචන එල්ල කළ නොහැක. මන්ද යත් ගිනි පෙළෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කනාමැදිරි එළියටත් බිය හෙයිනි.