පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2907කදී හෙට (23) පැවැත්වේ.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340,926 දෙනෙක් පෙනී සිටිති. දිවයින පුරා විභාග පරිපාලන කටයුතු සඳහා 26,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවත්, විභාග මධ්‍යස්ථාන සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන අධීක්ෂණය සඳහා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පළාත් නිලධාරීන් 530ක් යොදවා ඇති බවත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
ශිෂ්‍යත්ව විභාගයේ 1 වැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.15 දක්වා විනාඩි 45ක් ද, 2 වැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පස්වරු 12.00 දක්වා පැය 1කුත් විනාඩි 15ක කාලයක් ද පැවැත්වේ.
විභාග අපේක්ෂකයන් පෙරවරු 9.00 වනවිට ශාලාවල අසුන් ගතයුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බැවින් කල්වේලා ඇතිව විභාග අපේක්ෂකයන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතුය. එමෙන්ම විභාග අපේක්ෂකයන් තමාට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතුය. පිළීතුරු සැපයීමේදී පැන්සල හෝ පෑන භාවිතා කළ හැකිය. විභාග අංකය නිවැරැදිව ලිවිය යුතු අතර, සෑම ප්‍රශ්න පත්‍රයකම විභාග අංකය ලිවීම සඳහා 1 සහ 3 පිටුවල ඉඩ තබා ඇත. පිළිතුරු සැපයීමේදී ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත්, කටුවැඩ සඳහා අවශ්‍ය කොළ ලබා දෙන බවත්, ප්‍රශ්න පත්‍රය අතට ගත් පසු කළබල නොවී හොඳින් කියවා බලා පිළිතුරු සපයන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව සියලු විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙයි.
එමෙන්ම කල් වේලා ඇතිව තමන්ගේ දරුවන් පාසල වෙත රැගෙන ආ යුතු බවත්, මවුපියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළත් නොවිය යුතු බවත් දැනුම් දෙයි. විවේක කාලයේදී ද මවුපියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළත් වීමට ඉඩ ලබා නොදෙන බවද, දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට ලබා දෙන ලෙසද දැනුම් දෙයි.
විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911, එම දෙපාර්තමේන්තුවේ අනෙකුත් දුරකථන අංක වන 011 2784208, 011 2784537, 011 3188350, 011 3140314 සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ 011 2421111 සහ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඇමතිය හැකිය.