ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මතක් වී ඇත්තේ නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් සිවුවැනි තැනට ඇද වැටෙන බවට බුද්ධි අංශ ලබාදුන් වාර්තාව නිසා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ සැබෑ වුවමනාව වී ඇත්තේ නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීම නොව ඉදිරි මැතිවරණයෙන් සායම බේරාගැනීම පමණක් බවද රණතුංග මහතා පැවසීය.
මිනුවන්ගොඩ පැවැති ජනහමුවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,
“යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් දැන් අවුරුදු තුනක් ගෙවිලා ඉවරයි. එදා ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට නොකරපු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට ආයෙමත් ජනතාව මතක් වෙලා තියෙන්නේ ඡන්දය කට උඩටම ආවට පස්සෙයි. ජනාධිපතියි අගමැතියි දැන් වේදිකාවල තරගෙට කිඹුල් කඳුළු හෙළන්න පටන් අරන්.
ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපති ධුරයේ කටයුතු දැන් කරන්නේ දේශපාලන වේදිකාවලට නැගලයි. ඒවා දේශපාලන රැලිවලටත් වඩා ජනාධිපති කාර්යාලයේ නිල රැස්වීම් වගෙයි. අරවා දෙනවා, මේවා දෙනවා, අරවා ක්‍රියාත්මක කරනවා ඔන්න ජනාධිපතිවරයා දේශපාලන රැලිවලට ගිහින් කියන දේවල්.
එතුමා අවුරුදු තුනක් බලයේ හිටියා. කරපු කෙංගෙඩියක් නැහැ. දැන් බොරුවට වේදිකා දෙවනත් වෙන්න කෑගැහුවට වැඩක් නැහැ. මං අහගෙන ජනාධිපතිවරයා කියනවා සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් 96 දෙනා එනවා නම් හෙට වුණත් ආණ්ඩුවක් හදනවා කියලා.
ජනාධිපතිවරයා හීනෙන් නැගිටලා කියන කියන පලියට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ. එතුමට අමතක වෙලා 2015 ජනවාරියේ මෙන්ම 2015 අගෝස්තුවේදිත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබ්බ රනිල්ට අගමැතිකම දුන්නේ එතුමම කියලා. දැන් ජනතාව රවට්ටන්න බොරු බයිලා ගහනවා.
අපි එදා අගෝස්තු ඡන්දෙන් පස්සෙ කිව්වා ආණ්ඩුවක් හදමු කියලා. අපේ කතාවට කන්නොදී රනිල් අගමැති කරලා එක්සත් ජාතික පක්ෂයේ අයට හොඳ ඇමතිකම් දීලා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිරිකොතේ වළං හෝදන තැනට පත් කළේ අද ඔය සිංහ නාද පවත්වන ජනාධිපතිවරයාම තමයි.
අද මහින්දගේ හොරකම් ගැන කතාකරන සිරිසේන මහත්තයාගෙන් අපි අහන්න කැමතියි එදා ඔස්ට්‍රේලියාවෙන් ආපු අල්ලස් චෝදනාවට මොකද වුණේ කියලා. ඒක නීතිපතිට යැව්වා කියලා කිව්වට දැන් අවුරුදු දෙකකටත් වැඩි කලක් ගිහිල්ලත් කිසිම විමර්ශනයක් නැත්තේ මොකද කියලා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා. * යනුවෙන් කියා සිටියේය.