තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරීමට සිදුවුවහොත් ගෙදර යනවා මිසක එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගැසීමට නොයන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තමා කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයෙන් ශත පහක හෝ උදව්වක් ඉල්ලා නැති බවත්, ජාතික ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති ධුර දැරුවද කිසිවෙකුගේ පිරුවටයක් හෝ පාපිස්සාවක් නොවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
''යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,
එක්සත් ජාතික පක්ෂයත් එකට එක්වුණු ජාතික ආණ්ඩුවක්. අපි මේ රජයට එක්වුණේ අපේ පෞද්ගලික සුඛවිහරණය සඳහා නෙවෙයි. රටේ ජනතාවට යම් සේවාවක් කළ හැකිය යන විශ්වාසය මතයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේක ජාතික ආණ්ඩුවක් විදියට නිර්මාණය කළේ දේශපාලකයන්ට වරප්‍රසාද ලබාදෙන්න නොවෙයි.
මේ ආණ්ඩුව එක්ක එකතු වෙලා කටයුතු කරන නිසා සමහරු කියනවා අපි යූ.එන්.පී. එකත් එක්ක එකතු වෙලා කියලා. කලිනුත් එහෙම කිව්වා. අමරවීරට ඊළඟ ඡන්දේ ඉල්ලන්න වෙන්නේ යූ.එන්.පී.යෙන් කියලා සමහරු කිව්වා. ඒ වගේම සමහරු කිව්වා අමරවීර රනිල් එක්ක ගිවිසුමක් ගහලා කියලා.
හැබැයි අමරවීර කවදාවත් යූ.එන්.පී.යට ගියේ නැහැ. ඒ වගේම කවදාවත් යූ.එන්.පී.යට යන්නෙත් නැහැ. යූ.එන්.පී.යෙන් සතපහක උදව්වක්වත් ඉල්ලන්නෙත් නැහැ. අපි ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් විදියට. අපේ අම්මා තාත්තා හොඳ ශ්‍රී ලංකාකාරයෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා යන්න වුණු දවසට ගෙදර යනවා මිසක් කවදාවත් යූ.එන්.පී.යට ගිහින් මුක්කු ගහන්නේ නැහැ. අපි මේ ජාතික ආණ්ඩුවට එක්වී කටයුතු කළාට කාගෙවත් පිරුවටයක්වත්, පාපිස්සක්වත් බවට පත්වෙන්නේ නැහැ. අපට අන්යනතාවක් තිබෙනවා. අපි කටයුතු කරන්නේ ඒ අනන්‍යතාව රැකගනිමිනුයි.
මේ වර්ෂයේදී අපි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව. ඒ පනතට අවශ්‍ය සංශෝධන ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියා ජනාධිපතිතුමා පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. වහාම ඒ වෙනස්කම්වලට අදාළ කැබිනට් පත්‍රිකාව ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියා ජනාධිපතිතුමා එහිදී උපදෙස් දුන්නා. නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ පළාත් පාලන මැතිවරණය පවත්වනවා විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ මැතිවරණය ජයගන්නත් අපට ශක්තිය තිබෙනවා'' යනුවෙන් පවසා සිටියේය.